ගිම්හාන නිවෘත්තිය (Summer Solstice / June Solstice)

2023 වර්ෂයේ ගිම්හාන නිවෘත්තිය (Summer Solstice / June Solstice) ජූනි මස 21 වන බදාදාට යෙදී තිබේ. උත්තරාර්ධ ගෝලයට දීර්ඝතම දිවා කාලයත්, දක්ෂිණාර්ධගෝලයට දීර්ඝතම රාත්‍රී කාලයත් උදාවන මෙදින, තාරකා විද්‍යාත්මකව උතුරු අර්ධගෝලයේ ගිම්හාන ඍතුවේ ආරම්භයත්, දකුණු අර්ධගෝලයේ සිසිර ඍතුවේ ආරම්භයත් සනිටුහන් කරයි.

පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර පථයක චලනය වන අතරම තම අක්ෂය වටාද භ්‍රමණය වේ. පෘථිවියේ භ්‍රමණ අක්ෂය (එනම් පෘථිවියේ උත්තරධ්‍රැවය සහ දක්ෂිණධ්‍රැවය යාකරන මනඃකල්පිත රේඛාව) පෘථිවියේ පරිභ්‍රමණ තලයට ලම්බක නොවන අතර, එය පරිභ්‍රමණ තලයට අංශක 23.5 ක ආනතියක් දක්වයි. මේ නිසා වසරේ විවිධ කාලවල දී පෘථිවියේ උතුරු අර්ධ ගෝලයට සහ දකුණු අර්ධ ගෝලයට සූර්යාලෝකය ලැබෙන ප්‍රමාණය වෙනස් වෙයි. පරිසරයේ ඍතු විපර්යාසය මෙහි ප්‍රතිඵලයකි. ජූනි 21 වෙනිදාට යෙදී ඇති ගිම්හාන නිවෘත්තියේදී පෘථිවියේ උතුරු අර්ධ ගෝලය සූර්යයා දෙසට දක්වන ආනතිය එහි උපරිමයට එළඹෙයි. මෙදින කර්කටක නිවර්තනයට (උතුරු අක්ෂාංශ 23.5 -  Tropic of Cancer) සූර්යයා මුදුන් වෙයි.

තාරකා විද්‍යාත්මකව ගිම්හාන ඍතුවේ ආරම්භක දිනය ගිම්හාන නිවෘත්තිය ලෙස සැලකුනද, කාලගුණ විද්‍යාඥයින් කාලගුණික සහ දේශගුණික සාධක පදනම් කරගනිමින් විවිධ ඍතූන් පවතින කාල සීමාව ඉදිරිපත් කර ඇත. ඊට හේතුව සූර්ය රශ්මිය හොඳින් ලැබුණද, පරිසරයේ උෂ්ණත්වය වැඩි වීමට යම් කාලයක් ගතවීමයි. මේ නිසා ගිම්හානයේ උණුසුම්ම දින කිහිපය එළඹෙන්නේ ගිම්හාන නිවෘත්තියෙන් සති 6 කට පමණ පසුවය.

සමකාසන්න රටවලට දිවා කාලයේ දිගු වීම සහ කෙටි වීම එතරම් හොඳින් නොදැනුනද, නිවර්තන කලාපයෙන් ඉහළ සහ පහළ රටවලට දිවා කාලයේ මෙම වෙනස්කම් ඉතා හොඳින් අත්දකින්නට ලැබේ. ජුනි 21 වෙනිදා ආක්ටික් වෘත්තයෙන් ඉහල රටවල් වලට මධ්‍යම රාත්‍රියේ දී පවා සූර්යයා දැකගන්නට ලැබෙයි. එය ඔවුනට හිරු නොබසින දිනයකි. ජුනි 21 වැනිදායින් පසු දිවා කාලය ක්‍රමයෙන් කෙටි වන අතර එළඹෙන සරත් විෂුවයේදී (Autumnal Equinox) දිවා කාලය හා රාත්‍රී කාලය ආසන්න වශයෙන් එක සමාන වෙයි.

Solstice යන වචනයේ මූලයන් වන්නේ ලතින් භාෂාවේ sol (සූර්යයා) සහ stit (නැවතුම / නිසලව සිටීම) යන පද ද්විත්වයයි. සාමාන්‍යයෙන් සූර්යයා නැග එන අවස්ථාවේදී, සූර්යයා සිතිජයෙන් (තාරකා විද්‍යාත්මක සිතිජය නොවේ) මතු වන්නාක් මෙන් පෙනෙන ස්ථානය (Sub Solar Point) සෑම විටම නිවැරදි නැගෙනහිර දිශාව නොවෙයි. එය බොහෝ විට තරමක් උතුරු දිශාවට හෝ දකුණු දිශාවට යොමු වී පවතියි. මෙම ලක්ෂ්‍යය වඩාත්ම උතුරුදිගට බරව පිහිටන දිනය ගිම්හාන නිවෘත්තියයි. එදින සිට නැවතත් සූර්යයා සිතිජයෙන් මතු වන්නාක් මෙන් පෙනෙන ස්ථානය ක්‍රමයෙන් දකුණු දෙසට ගමන් ගැනීම ඇරඹෙයි.

🗒🖊  Chamath Piyumal
 🎨🖌 Chamuditha Nimsara

 J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2023

Comments

Popular Posts