තාරකා මණ්ඩල


 

අවුරුදු දහස් ගණනක් පුරා මිනිසුන් අභ්‍යවකාශ වස්තු නිරික්ෂණය කරමින්, එම වස්තු පිළිබඳව දැක්වු උනන්දුවෙහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුන් වටහාගත් කරුණක් වූයේ, අහසේ දර්ශනය වු තරු අතරෙහි කිසියම් සුවිශේෂිත බවක් දැක්වෙන තාරකා රටාවන් සමුහයක් පිහිටා ඇති බවයි. මෙලෙස ඔවුන් විසින් අහසෙහි නිරික්ෂණය කළ තරු රටාවන් හඳුනාගැනීමේ පහසුව සඳහා ඒවාට කිසියම් සතෙකුගේ හෝ වස්තුවක හෝ මිත්‍යා ප්‍රබන්ධ වල සඳහන් වන ජීවින්ගේ හැඩරුවන් ආදේශ කොට ඒවා එකිනෙකට වෙන්කර හඳුනාගැනීමට මිනිසා උනන්දු වූයේය.

මෙම තාරකා මණ්ඩලයන්හි දෲශ්‍යතාව රඳා පවතින්නේ නිරික්ෂණය කරනු ලබන  පුද්ගලයා පෘථිවියේ සිටින පිහිටීම හා වසරේ කාලය මතයි. මෙහිදී ආකාශය උතුරු හා දකුණු අර්ධ ගෝල ලෙස කොටස් දෙකකට බෙදා ඇති අතර පෘථිවිය භ්‍රමණය වනවිට මෙම තරු රටා, විවිධ වේලාවන්හි හා විවිධ ස්ථානවලදී, අහසේ දර්ශනය වේ. පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වනවිට, පෘථිවි පෘෂ්ඨයේ සිට නිරික්ෂණය කරනු ලබන  මෙම තාරකා මණ්ඩල රාත්‍රී අහස හරහා නැගෙනහිර සිට බටහිරට ගමන් කරන බව නිරික්ෂණය කල හැකිය.

මෙම තරු රටාවන්හි වැදගත් ලක්ෂණයක් වනුයේ කිසියම් තරු රටාවක තිබෙන තාරකාවන් ,කලින් කලට අහසෙහි දිස්වන ස්ථානය වෙනස් වුවත්, එකිනෙක අතර ඇති දුර හා කෝණයන් නොවෙනස්ව පැවතීමයි. එමෙන්ම මෙම තරු රටාවන්ට අයත්වන තාරකාවන් අහසෙහි එකම තලයක පිහිටා ඇති ලෙසට පෙනුණද, මෙම තාරකාවන් එලෙස සම මට්ටමකින් හෝ පෘථිවියට සමාන දුරින් පිහිටා නොතිබීම විශේෂ කරුණකි.

මෙලෙස අහසේ දෲශ්‍යමාන වන තරු රටා 88 ක් අපට  නිරික්ෂණය කල හැකි බව අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය (International Astronomical  Union - IAU)1930 දී ප්‍රකාශයට පත්කරන ලදී.

තාරකා විද්‍යාවෙන් උපන් ක්ෂේත්‍රයක් වන නක්ෂත්‍රයේ මෙවැනි තරු රටා 12 ක් පිලිබඳව සඳහන් කර ඇතමෙම තරු රටා ඉලිප්සියාකාර වළල්ලක් ආකාරයට අහසෙහි පිහිටා ඇති බවට සඳහන් කරයි. මෙම ඉලිප්සියාකාර වළල්ල ක්‍රාන්ති වලය (ecliptic plane) ලෙස හඳුන්වනු ලැබේ. ක්‍රාන්ති වලය ලෙස හඳුන්වනුයේ නැගෙනහිරින් පායා බටහිරින් බැසයන සේ දිස්වන හිරුගේ දෲශ්‍ය ගමන් මග වෙයි. මෙම තාරකා රාශි 12 සාමාන්‍ය ව්‍යවහාරයේදී ලග්න වශයෙන් හඳුන්වනු ලැබේ. ඒවා මේෂ (Aries), වෘෂභ (Taurus), මිථුන (Gemini), කටක (Cancer), සිංහ (Leo), කන්‍යා (Virgo), තුලා (Libra), වෘශ්ච්ක (Scorpio), ධනු (Sagittarius), මකර (Capricorn), කුම්භ (Aquarius) හා මීන (Pisces) වෙයි. මෙහි   සඳහන් කල තාරකා රාශි 12 පොදුවේ ගත්කළ තාරකා රාශි චක්‍රය (zodiac) යනුවෙන් හඳුන්වනු ලැබේ.



ඉහත සඳහන් කර ඇති තාරකා රටා 12 අමතරව තවත් විවිධ තරු රටා රාත්‍රී අහසෙහි නිරික්ෂණය කල හැකිය. අතර මහ වලහා (Ursa major/Great bear), හර්කියුලස් (Hercules), මහ සුනඛයා (Canis major), ඔරායන් (Orion), එඬේරා (Boötes) යන තරු රටා සුවිශේෂි ස්ථානයක් ගනියි.

මෙම තාරකා මණ්ඩල ඈත අතීතයේ සිටම මිනිසුන්ට බෙහෙවින් උපකාර විය. මන්ද පුරාණ කාලයේ දින දර්ශනය නිර්මාණය කිරීමට, ඔවුහු තාරකා මණ්ඩලයන්හි පිහිටීම් භාවිතා කළහ. එමගින් ඔවුන් බෝග වගාකර අස්වැන්න නෙළාගත යුත්තේ කවදාදැයි දැන සිටින ලදී. තවද, යාත්‍රා කිරීමේදී නාවිකයන්ට දිශාව සොයාගැනීමට මෙම තරු රටා උපකාර විය. වර්තමානයේ දී, නාසා ගගනගාමීන්හට තමන්ගේ නිරික්ෂණ පද්ධති වල  යම් බිඳවැටීමක් සිදුවුවහොත්, තාරකා මණ්ඩල නිරික්ෂණය කරමින් තම මාර්ගය සොයාගැනීම සඳහා පුහුණු කර ඇත. එමෙන්ම, රොබෝ අභ්‍යවකාශ යානාද, ඔවුන්ගේ මාර්ගය සොයා ගැනීම සඳහා තරු සිතියම් භාවිතා කල හැකි පරිදි නිර්මාණය කර ඇත. මින් පෙනී යන්නේ, එදා මෙන්ම අදටත් තාරකා රටාවන් මිනිසාට බෙහෙවින් උපකාරී වන බවයි.


©️ Omega Perera

Graphic by : Heshani Jananjalee


J'pura Astronomy Club

💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
#planetof_Education💫

Comments

Popular Posts