ඔරියොනිඩ් උල්කාපාත වර්ෂාව | ORIONIDS METEOR SHOWER

 


ඔරියොනිඩ් උල්කාපාත වර්ෂාව යනු එහි උච්චතම අවස්ථාවේ දී පැයකට උල්කාපාත දහයත් විස්සත් අතර ප්‍රමාණයක් නිපදවන මධ්‍යස්ථ උල්කාපාත වර්ෂාවකි. එය සෑම වසරකම එකම වේලාවක සිදුවන බැවින් එය වාර්ෂික උල්කාපාත වර්ෂාවක් ලෙස හඳුන්වනු ලබයි. මෙම උල්කාපාත වර්ෂාව ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස පුරාවටම දිස්වන අතර  එහි උච්චතම අවස්ථාව ඔක්තෝබර් 21 දින ශ්‍රි ලංකාවේ වේලාවෙන් රාත්‍රි  10:30 ට දැකිය හැකි වේ. නමුත් උච්ච රාත්‍රිවල දී සඳ සියයට 20 ක් පමණ පිරී පවතින නිසා ඔරියොනිඩ් උල්කාපාත වර්ෂාව නැරඹීමට එය මදක් බාධා ඇති කිරීමට හැක.

නාසා ආයතනයට අනුව ඔරියොනිඩ් උල්කාපාත වර්ෂාව තත්පරයට සැතපුම් 41 ක වේගයෙන් අහස හරහා ගමන් කරයි. එමෙන්ම එය ලියොනිඩ් උල්කාපාත වර්ෂාවට වඩා තත්පරයට සැතපුම් 3 ක් වේගයෙන් අඩුය. ඔරියොනිඩ් උල්කාපාත වර්ෂාව ඇති වන්නේ Halley's Comet ලෙස හඳුන්වන වල්ගා තරුවෙන් ගැලවී යන පාෂාණ කැබලි පෘථිවිය හරහා ගමන් කිරීමෙනි. මෙම පාෂාණ කැබලි බොහොමයක් ඉතා කුඩා වන අතර සමහර කැබලි වැලි  හෝ කුඩා ගල් කැට තරම් ප්‍රමාණයේ ඒවා වේ. තව ද මෙම වල්ගා තරුව ඔරියොනිඩ් උල්කාපාත වර්ෂාවට අමතරව තවත් උල්කාපාත වර්ෂාවක් වන eta Aquariids හි මව් ශරීරය ද වේ. වල්ගාතරු සුන්බුන් පෘථිවිය හරහා ගමන් කරන විට, පෘථිවි වායුගෝලයේ දී දැවී යාමේ ප්‍රතිඵලයක් ලෙස දර්ශනීය "කඩාවැටෙන තරු" අහස පුරා දැකිය හැක. Halley's Comet සූර්යයා වටා සම්පූර්ණයෙන් භ්‍රමණය වීමේදී වසර 76ක් පමණ ගතවන අතර  එය මීළඟට පෘථිවියට දර්ශනය වන්නේ 2061 වසරේදීය.

මෙම උල්කාපාත වර්ෂාව ඔරියොනිඩ් ලෙස හඳුන්වනු ලබන්නේ "විහිදුම් ලක්ෂ්‍යය" අහසේ ඇති ඔරියන් තාරකා මණ්ඩලයට යාබදව පිහිටා ඇති බැවිනි. ඔරියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව ඇති වන්නේ සමකයට ආසන්නයෙන් නිසා එය ලොව පුරා දර්ශනය වේ. ඔබ සිටින්නේ උතුරු අර්ධගෝලයේ නම්, උල්කාපාත වර්ෂාව නිරිතදිග අහසේ දැකිය හැකි වන අතර ඔබ දකුණු අර්ධගෝලයේ සිටින්නේ නම් එය වයඹ දෙසින් දිස්වේ.


©️ Achinthya Herath

Graphic by : Priyashantha Perera


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫

Comments

Popular Posts