"SAGITTARIUS A" BLACK HOLE



    කළු කුහර යනු ස්වභාවයෙන්ම පියවි ඇසට නොපෙනෙන, අභ්‍යවකාශයේ ඇති ආකර්ෂණීය වස්තූන් අතරින් කිහිපයකි. ආලෝකයට පවා ඔවුන්ගේ ග්‍රහණයෙන් ගැලවිය නොහැකි තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණ ආකර්ෂණයක් ඇති ඒවා අධික ඝනත්වයකින් යුක්තය. එහි ගුරුත්වාකර්ෂණ අගාධයට වැටෙන ඕනෑම ආලෝකයක් සදහටම හසු කර ගැනීම නොවැළැක්විය හැකිය. නමුත් කළු කුහරයක ආපසු නොඑන ස්ථානයෙන් ඔබ්බට, ආලෝකය නොනැසී පවතිනයි. දළ සේයා තහඩුවක මෙන් එහි ආලෝක රටාවන්‍ට, කළු කුහරයක පැවැත්ම හෙළි කළ හැකිය.

    වර්තමානයේ MIT හි හේස්ටාක් නිරීක්ෂණාගාරයේ පර්යේෂකයන් ඇතුළු ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක්, ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යයෙහි පවතින අති දැවැන්ත කළු කුහරය වටා ආලෝකය ග්‍රහණය කර ගෙන, ප්‍රථම වරට Sagittarius A කලු කුහරයේ ඡායාරූපයක් හෙළිදරව් කර ඇත.

    මෙම ඡායාරූපය නිර්මාණය කරන ලද්දේ Event Horizon Telescope (EHT) දුරදක්නය විසිනි. එය ගෝලීය ගුවන්විදුලි දුරේක්ෂ ජාලයක් වන අතර එය අති දැවැන්ත කළු කුහරයක  event horizon ප්‍රමාණයේ වස්තූන් නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් කෝණික විභේදනයක් සහිත ගුවන්විදුලි දුරේක්ෂ ජාලයකි.

    පර්යේෂකයන් විසින් අප පෘථිවියේ වායුගෝලය සහ අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති කැළඹිලි සහිත ප්ලාස්මාව හරහා පෘථිවියේ සිට ආලෝක වර්ෂ 27,000ක් ඈතින් පිහිටි අපගේ ක්ෂීරපථ මන්දාකිනියේ කේන්ද්‍රය වෙත EHT දුරදක්නය නාභිගත කරන ලදී.

    ප්‍රතිඵලයක් ලෙස ලැබෙන රූපය දිලිසෙන, ඩෝනට් හැඩැති ආලෝකයේ වළල්ලක ස්වරූපයෙන් ඇති Sagittarius A කළු කුහරය පිළිබඳව පළමු වරට ලොවට හෙළිදරව් කලේය. මෙම වළලු ව්‍යුහය පිහිටා ඇත්තේ Event horizon හෝ ආලෝකයට ගැලවිය නොහැකි ලක්ෂ්‍යයෙන් ඔබ්බට වන අතර එය කළු කුහරයේ දැවැන්ත ගුරුත්වාකර්ෂණය මගින් ආලෝකය නැමීමේ ප්‍රතිඵලයකි. දීප්තිමත් වළල්ල ඇතුලත ඇති අඳුරු මධ්‍යය කළු කුහරයේ "සෙවනැල්ල" ලෙස හඳුන්වයි. වළල්ලේ සුදු පැහැති උණුසුම් ප්ලාස්මාව කෙල්වින් බිලියන 10ක් හෙවත් ෆැරන්හයිට් අංශක බිලියන 18ක් ලෙස ගණන් බලා ඇත. Sagittarius A කළු කුහරය සූර්යයාගේ ස්කන්ධය මෙන් මිලියන 4 ගුණයක් පමණ වන අතර සිකුරුගේ කක්ෂයට සමපාත වන අන්දමේ විශාලත්වයකින් යුක්තය.

    ඉතාමත් මෑතකදී නිකුත් කරන ලද Sgr A  හි ඡායාරූපය, ක්ෂීරපථ මන්දාකිනියේ මධ්‍යයේ කළු කුහරයක් ඇත්ත වශයෙන්ම පවතින බවට පළමු දෘශ්‍ය තහවුරු කිරීමයි. තාරකා විද්‍යාඥයින් මීට පෙර කළු කුහර බවට අනුමාන කල හැකි නොපෙනෙන, දැවැන්ත හා අතිශයින් ඝන වස්තුවක් වටා තාරකා වටා ගමන් කරන ආකාරය නිරීක්ෂණය කර ඇත. ශේෂ්ඨ භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් 1916 දී ඔහුගේ සාමාන්‍ය සාපේක්ෂතාවාද න්‍යාය මගින් කළු කුහර පවතින බව ප්‍රථම වරට පුරෝකථනය කළේය.

    සාමාන්‍ය සාපේක්ෂතාවාදය මත පදනම් වූ අනාවැකි සමඟ එකඟ වන මානයන් සහිත වස්තුව කළු කුහරයක් බවට පළමු දෘශ්‍ය සාක්ෂිය මෙම මෑතකදී හෙළිදරව් කරන ලද Sagittarius A හි ඡායාරූපය සපයයි.

    කළු කුහරයක ප්‍රථම ඡායාරූපය 2019 දී EHT විසින් ලබා ගන්නා ලද M 87 හි ඡායාරූපයයි. එම M 87 හි පෙරළිකාර ඡායාරූපය , පෘථිවියට ආලෝක වර්ශ මිලියන 53ක් දුරින් පිහිටා ඇති Messier 87 මන්දාකිණියේ මධ්‍යයේ ඇති සුපිරි කළු කුහරයයි. 

    M87 යනු Sgr A හා සසඳන විට සූර්යයාගේ මෙන් බිලියන 6.5 ක ස්කන්ධයක් සහිත නැතහොත් අප ක්ෂීරපථ මන්දාකිණිය මධ්‍යයේ ඇති Sgr A කළු කුහරයට වඩා 1,000 ගුණයකට වඩා ස්කන්ධයෙන් යුත්, මුළු සෞරග්‍රහ මණ්ඩලයම වුවත් පහසුවෙන් ගිල දැමිය හැකි ප්‍රමාණයෙන් යුත් වස්තුවකි. M87 හි රූපය Sgr A වැනි දීප්තිමත් වළලු ව්‍යුහයක් ඇති බවට සාක්ෂි දරයි. රූප දෙක අතර ඇති සමානකම සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ තවත් පුරෝකථනයක් සනාථ කරයි. එනම් කළු කුහර වල ප්‍රමාණය කුමක් වුවත් සියලු කළු කුහර එකහා සමාන බවයි.

    MIT හි හේස්ටැක් නිරීක්ෂණාගාරයේ පර්යේෂණ විද්‍යාඥයන් පවසන ආකාරයට, Sagittarius A යනු සාමාන්‍ය සාපේක්ෂතාවාදය සුපිරි කළු කුහර වල අන්ත දෙකෙහිම ක්‍රියා කරන බව පෙන්වන ස්ථාවර රූපයකි.

    ඉහත සඳහන් කල කළු කුහර දෙකෙහිම ඡායාරූප පදනම් වී ඇත්තේ 2017 දී අදාළ මූලාශ්‍රවල EHT විසින් ලබාගත් දත්ත මත ය. කෙසේ වෙතත්, Sgr A අවධානයට යොමු කිරීමට වැඩි කාලයක් සහ වෑයමක් ගත වී ඇති අතර, එයට හේතුව එය ප්‍රමාණයෙන් කුඩා වීම සහ අපගේම මන්දාකිණිය තුළ එහි පිහිටීමයි.


©️ Ransi Anuththara

Graphic by : Ashani Hasantha


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Education💫



Comments

Popular Posts