මන්දාකිණියේ වගතුග 05 : මහා මැගලන් වලාව(Large Magellanic Cloud)


    අද ලිපියෙන් අපි කතා කරන්නේ අපගේ ක්ෂිරපතයට අයත් වන වාමන මන්දාකිණියක් වන මහා මැගලන් වලාව (Large Magellanic Cloud ) ගැනයි.

    මහා මැගලන් වලාව ක්ෂීරපතයේ සිට ආලෝක වර්ෂ 163 000 ක්‌ පමණ දුරින් පිහිටා ඇත. Sagittarius Dwarf Spheroidal සහ Canis Major Overdensity ලෙසින් හඳුන්වන වාමන මන්දාකිණි වලට පසුව ක්ෂිරපතයට ආසන්නම මන්දාකිණිය වන්නේ මහා මැගලන් වලාවයි. විද්‍යාඥයින් සොයාගෙන ඇති ආකාරයට මෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 14 000 ක්‌ වන අතර මෙහි ස්කන්ධය සූර්ය ස්කන්ධ බිලියන 10 ක්‌ පමණ ය. එම නිසා එය අප ස්ථානීය මන්දාකිණි පොකුරේ (local group of galaxies )හතරවන විශාලතම මන්දාකිණිය ලෙස හඳුනාගෙන ඇත. අපගේ ස්ථානීය මන්දාකිණි පොකුරේ මහා මැගලන් වලාවට වඩා විශාල මන්දාකිණි වන්නේ Andromeda සහ Triangulum මන්දාකිණි වර්ගයි.

මැගලන් වලාවේ ඉතිහාසය…

    මහා මැගලන් වලාව සහ කුඩා මැගලන් වලාව පිළිබඳව මුලින්ම නිරීක්ෂණය කරනු ලැබුවේ ක්‍රි. ව.964 දී පර්සියානු ජාතික තාරකා විද්‍යාඥයකු වන අබ්දුල් රෙහෙමාන් අල් සූෆි ෂිරාසී විසින් ය. ඉන්පසුව 1503 දී ඇමෙරිගෝ වෙස්පුචි නම් දේශ ගවේශකයා විසින් රචිත ලිපියකද මෙය පිළිබඳව සඳහන් කර ඇත. කෙසේ නමුත් අවසානයේදී ෆර්ඩිනන්ඩ් මැගලන් නම් දේශ ගවේශකයා ඔහුගේ වාර්තා වල මෙය පිළිබඳව තැබූ සටහන් යුරෝපයේ ප්‍රසිද්ධ වීමත් සමඟ ඒවා මැගලන් වලාව ලෙස හඳුන්වන ලදි.

    බොහෝ අක්‍රමවත් හැඩති මන්දාකිණි මෙන් මහා මැගලන් වලාවේද වායූ හා දූවිලි අංශුන් බහුලව පවතියි. එම නිසා ඒවායේ තාරකා සෑදෙන ස්ථාන බොහෝ ප්‍රමාණයක් මෙහි අන්තර්ගතය. මහා මැගලන් වලාවේ ඇති Tarantula Nebula නම් නිහාරිකාව අප ස්ථානීය මන්දාකිණි පොකුරේ ඇති වඩාත්ම ක්‍රියාකාරී තාරකා උපදින ස්ථානය ලෙසට සොයාගෙන ඇත. මෙහි ගෝලාකාර තරු පොකුරු 60 ක්‌ ග්‍රහලෝක නිහාරිකා 400 ක්‌ විවෘත තරු පොකුරු 700 ක්‌ මෙන්ම යෝධ සහ සුපිරි යෝධ තාරකා සිය දහස් ප්‍රමාණයක් අන්තර්ගත බව සොයාගෙන ඇත.

    මෑත කාලයේදී වාර්තා වූ, අපට අසලින්ම පෙනුණු SN 1987A නම් සුපර්නෝවා පිපිරුමද වාර්තා වූයේ මහා මැගලන් වලාව තුලින්ය. එමෙන්ම මෑත කාලයේදී හබල් දුරේක්ෂය මඟින් ලබාගත් දත්ත ආශ්‍රයෙන් සිදුකරන ලද පරීක්ෂණ වලින් මහා මැගලන් වලාව වසර මිලියන 250 කට වරක් තමන් වටා භ්‍රමණය වන බවත් එය අභ්‍යවකාශයේ ගමන් ගන්නා ප්‍රවේගය අනුව එය ක්ෂිරපත මන්දාකිණියේ උප මන්දාකිණියක් නොවිය හැකි බවටත් නවතම මත පල වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට මෙම වාමන මන්දාකිණිය ඔක්තෝබර් සිට මාර්තු යන මාස අතරතුර ආලෝක දූෂණය ඉතා අඩු, වලාකුලින් තොර, චන්ද්‍රයා නොමැති රාත්‍රියක දක්ෂිණ ක්ෂීරපතයේ සිට අංශක 14 ක්‌ පමණ උපරිම උන්නතාන්ශයකින් දැක ගත හැකිය. Dorado සහ Mensa යන තාරකා රාශි පසුබිම් කරගෙන මහා මැගලන් වලාව පිහිටා ඇති අතර, පූර්ණ චන්ද්‍රයා මෙන් 20 ගුණයක් පමණ විශාලත්වයෙන් මෙය දර්ශනය වේ.

©️කාවින්ද්‍යා දිල්ශානි පතිරාජ
Graphic by : Pavith Madhura

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
#planetof_Education💫

Comments

Popular Posts