EVOLUTION OF A STAR | තරුවක ජීවිත කතාව✨

 


ඔබ තාරකා විද්‍යාව ඇල්මැති පුද්ගලයකු නම් ඔබ අනිවාර්යයෙන්ම තාරකා වලට ප්‍රිය පුද්ගලයකු විය යුතුමය. තාරකා වලට ප්‍රිය ඔබ කෙදිනක හෝ තරුවක ජීවිත කතාව කියවා තිබේ ද? 

එසේ නම් මෙම ලිපිය ඔබේ පැනවලට පිළිතුරු සපයනු නියතයි.

🔸 තරු කියන්නේ මොනවාද?

    තරු කියලා කියන්නේ හිරු වගේ ම විශාල ශක්තියක් නිදහස් කරන දීප්තිමත් ආකාශ වස්තු වේ.අපේ හිරු තවත් සාමාන්‍ය ආකාරයේ තරුවක් පමණි. සමහර තරු හිරුට වඩා දීප්තියෙන් වැඩියි. ඒත් අපට බැලූ බැල්මට වැඩිම දීප්තියක් ඇති තරුව විදිහට පියවි ඇසින් පෙනෙන්නේ හිරුය. ඒ හිරු අපට සමීප ම තරුව නිසයි. 

🔸 තරු දීප්තිමත් ව බබළන්නේ ඇයි?

    තරුවල ශක්තිය පිට කිරීම සිදුවන්නේ න්‍යෂ්ටික විලයනය ප්‍රතික්‍රියා මගිනි. මෙහිදී සිදුවන්නේ හයිඩ්‍රජන් පරමාණු හීලියම් පරමාණු බවට පත් වීමයි. තරුවල තියෙන්නේ තනි ප්‍රෝටෝනයක් තියෙන හයිඩ්‍රජන්වේ. මෙම හයිඩ්‍රජන් අණු තෙරපී ඇති වන පීඩනයෙන් හටගන්නා තාපය නිසා පරමාණු බිදී යයි. එමගින් ප්‍රෝටෝන දෙකක් ඇති හීලියම් සෑදෙයි. මෙම න්‍යෂ්ටික වියලන ප්‍රතික්‍රියාවේ දී ඉතා ම අධික ශක්තියක් පිට වෙනවේ. මගින් තාපයත් ආලෝකයත් නිදහස් කරනවා.එමනිසා තරු ඉතා දීප්තිමත් ව බබළයි.

🔸 තරුවක මතුපිට උෂ්ණත්වය කීයද?

    තරුවල මතුපිට උෂ්ණත්වය 3000 - 80 000 ℃ පරාසයක් තුළ දකින්න පුළුවන්. හිරුගේ මතුපිට උෂ්ණත්වය 5500  ක් පමණ වෙනවා.

🔸 තරු විවිධ වර්ණයන්ගෙන් දිස්වන්නේ ඇයි?

    තරුවල දිස්වන වර්ණයට හේතු වන්නේ මතුපිට උණුසුම යි. ඒ අනුව තරු පහත පරිදි වර්ග කරන්න පුළුවන්. නිල් පාට තරු උණුසුමින් ඉතාම වැඩියි. ඒවායේ උණුසුම 30 000  වැඩියි. රතුපාටතරු වල උණුසුම ඉතාම අඩුයි. ඒවායේ උණුසුම 3000  ක් පමණ වෙනවා.

🔸 එක තරුවකට විවිධ වර්ණ තිබෙන්නට පුළුවන් ද?

    දීප්තිය වෙනස් වෙමින් බබලන තරු හදුන්වන්නේ විල්‍යය තාරකා ලෙසයි. ඇල්ගෝස්, කැනෝපස් එවැනි තරුවේ. මුලින්ම සොයාගත් විචාල්‍ය තාරකාව වන්නේ ඇල්ගෝල් වේ. ඇල්ගෝල් තරුවේ දීප්තිය විටින් විට අඩු වැඩි වන්නේ එය යුගල තාරකාවක් ලෙස පිහිටා ඇති නිසා ය.

🔸 තරු උපදින්නේ කොහෙද?

    තරු උපදින වායු වළාවන් නිහාරිකාවක් ලෙස හඳුන්වයි. ලතින් භාෂාවෙන් Nibula ලෙස හැඳින්වෙන්නේ එයයි.එහි අර්ථය වන්නේ වළාකුලු යන්නයි. තරු පන්ති තුළ මෙවැනි නිහාරිකා දැකිය හැකිය.

🔸 තරුවක් උපදින්නේ කෙසේ ද?

    තරුවක් උපදින්නේ දැවැන්ත දූවිලි හා වායු වලාවක් කැටි වීමෙනි. තරුවක ඇති ප්‍රධාන මූලද්‍රව්‍ය දෙක හයිඩ්‍රජන් (74%) හා හීලියම් (25%) ක් වේ. ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ දැවැන්ත දූවිලි හා වායු වළාව ක්‍රමයෙන් හැකිළේ. ඉන්පසු වේගයෙන් භ්‍රමණය ට ලක් වන අතර විශාල තාපයක් උපදවයි. වලාවේ මැද කොටස දීප්තිමත් වීමට පටන් ගන්නේ ඉන් පසුවයි. මෙවැනි ස්ථානයක් ප්‍රාග් තාරකාවක් (Protostar) ලෙස හදුන්වයි. එය තරුවක් බවට පත් වන්නේ එලෙසිනි.

🔸 තරුවටා ග්‍රහලෝක ඇතිවන්නෙ කෙසේ ද?

මෙම දූවිලි වලාවේ ඉතිරි කොටස් වලින් එම තරුව වටා ග්‍රහලෝක නිර්මාණය විය හැකිය.

🔸 මන්දාකිණියක් යනු කුමක්ද?

    තරු බිලියන ගණනක් එකතු වී මන්දාකිණි හෙවත් චක්‍රාවාට ලෙස හඳුන්වන තරු පොකුරු සාදයි. මන්දාකිණියක් තරු වලින් පිරුණු තරු නගරයක් ලෙසත් හැඳින්විය හැකිය. මන්දාකිණි එක් එක් හැඩවලින් එක් එක් ප්‍රමාණවලින් යුක්ත වේ. සමහර ඒවා ඉලිප්සාකාර වේ. තවත් සමහර ඒවා සර්පිලාකාර වේ. දැනට හදුනාගෙන ඇති ආකාරයට විශ්වය තුල මෙවැනි මන්දාකිණි බිලියනයක් පමණ ඇතැයි සැලකේ.

🔸 එසේ නම් අපගේ මන්දාකිණියේ නම කුමක්ද?

    සූර්යයා ප්‍රමුඛ සෞරග්‍රහ මන්ඩලය අයත් මන්දාකිණිය ක්ෂීරපථ මන්දාකිණිය ( Milky way) ලෙස හදුන්වයි. මෙය උඩින් බැලූ විට පෙනෙන්නේ පැතලි සර්පිලය ක් ලෙසය. පැත්තෙන් බැලුවහොත් පෙනෙන්නේ පිගානක් මත තවත් පිගානක් මුනින් නැමුවා වැනි හැඩයකි. තරු බිලියන සියයක් පමණ අඩංගු යැයි සැලකෙන ක්ෂීරපථය ආලෝක වර්ෂ 100 000ක පමන විශ්කම්භයක් සහිත වේ.  සූර්යයා පිහිටන්නේ එහි ඔරායන්-සිග්නස් කෙළවරේ ය. එනම්, ක්ෂීරපථය මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 30 000ක් දුරකිනි. ක්ෂීර පථයට ඉතාම කිට්ටුව මන්දාකිණි වලින් එකක් අලංකාර ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය වේ.

🔸 තරුවල පරිණාමය එකිනෙකට වෙනස් ද? 

    තරුවක් පරිණාමය සිදු වන ආකාරය එහි ස්කන්ධය අනුව වෙනස් වේ. ඒ අනුව තරු ස්කන්ධය අනුව කොටස් තුනකට වෙන් කළ හැකි ය.

1.කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ තරු (සුර්යයාගේ ස්කන්ධය මෙන් 1.4ට වඩා අඩු)

2. විශාල තරු (සුර්යයාගේ ස්කන්ධය මෙන් 1.4 සිට 3 දක්වා)

3. ඉතා විශාල තරු (සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට වඩා වැඩි)


🔸 කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ තරුවක(සුර්යයා වැනි) ජීවන අදියර මොනවද?

තරුව-> රතු යෝධ අවස්ථාව-> සුදු වාමන අවස්ථාව

🔹 රතු යෝධ( Red giant) අවස්ථාව:

    තරුවක් ශක්තිය මුදා හරිමින් අවුරුදු මිලියන ගණනක් එක දිගට දිලිසේ ක්‍රමයෙන් හයිඩ්‍රජන් පරමාණු හීලියම් පරමාණු බවට පත්වී දවසක හයිඩ්‍රජන් අවසන් වේ. එවිට වෙනස් ආකාරයක ප්‍රතික්‍රියාවක් ආරම්භ වෙයි. තරුවේ මතුපිට තට්ටු ප්‍රසාරණය වී හරය හැකිලේ. පිට කබොල සිසිල් වන අතර දීප්තිය ටිකෙන් ටික වැඩි වෙයි. ඒ තරුව හදුන්වන්නේ රතු යෝධ තරුවක් ( Red giant) නමිනි.

🔹 සුදු වාමන තරු (White dwarf star) අවස්ථාව:

    රතු යෝධ තරුවක ශක්තිය තවදුරටත් හීන වූ විට බාහිර කබොල අවකාශයට මුදා හරී. එවිට එය ග්‍රහ නිහාරිකාවක ( Planetary nebula) බවට පත්වේ. එවිට තරුවෙ මැද හැකිළෙන අතර එවිට එය සුදු වාමන තරුවක් ( White dwarf star) ලෙසයි.

🔹 කළු වාමන තරු (Black dwarf star) අවස්ථාව:

    සුදු වාමන තරුව ක්‍රමයෙන් සිසිල් වන අතර තරුවේ ශක්තිය සම්පූර්ණයෙන්ම වැය වී අවසන් වූ විට දීප්තියක් නැති කළු වාමන තරුවක්( Black dwarf star) බවට පත්වී විනාශවී යයි.

🔸 විශාල තරුවක ජීවන අදියර මොනවද?

තරුව -> රතු සුපිරි යෝධ අවස්ථාව -> සුපර්නෝවා පිපිරුම -> නියුට්‍රෝන තරුව -> කළු කුහරය

🔹 රතු සුපිරි යෝධ අවස්ථාව (Red Super giant):

    තරුවේ මතුපිට තට්ටු ප්‍රසාරණය වී හරය හැකි ලී පිට කබොල සිසිල් වීමෙන් අනතුරුව තරුවෙ දීප්තිය ටිකෙන් ටික වැඩි වෙයි. ස්කන්ධය ඉතාම වැඩි තරු සුපිරි රතු යෝධ තරුවක් ( Super Red giant)බවට පත්වේ.

🔹 සුපර්නෝවා පිපිරීම් අවස්ථාව: ( Super nova explosion) 

    සමහර තරු මතුපිට කලින් කලට පිපිරීම් ඇති වේ. මේ පිපිරීම් Nova පිපිරීම ලෙස හඳුන්වයි. මේ හිමින් සිදුවන විට එම තරුවලට කියන්නේ නෝවා තරු කියලයි. සමහරවිට තරු මුළුමනින්ම පුපුරනවා. මෙලෙස සිදු වන වේගවත් පිපිරීමක් හඳුන්වන්නේ සුපර් නෝවා පිපිරීමක් ලෙසයි.

 🔹 නියුට්‍රෝන තාරකා (Neutron star) අවස්ථාව:

    එහිදී තරුව සෑදී ඇති ද්‍රව්‍ය පුපුරාගොස් ප්‍රසාරණය වූ වායු වලාවක් සහ නියුට්‍රෝන වලින් සෑදුනු නටබුන් පමණක් ඉතිරි වෙයි. එවිට එය නියුට්‍රෝන තාරකාවක් බවට පත්වේ.

🔹 කළු කුහර ( Black Holes) අවස්ථාව: 

    විශාල තරු ජීවිතය අවසන් කරන්නේ සුපර් නෝවා පිපුරුමකි. එවැනි තරු ඉන්පසු ව කළු කුහර බවට පත්වේ. විශ්වයේ ඇති ශක්තිය හා පදාර්ථ යන දෙකම අවශෝෂණය කිරීමේ අධික ගුරුත්වාකර්ෂණ බල හැකියාවක් ඇති අද්භූත වස්තු කළු කුහර ලෙස හැඳින්වේ.

🔹 සුදු කුහර (White Holes) අවස්ථාව:

    සුදු කුහරයක් තුළ සිදුවන්නේ කළු කුහරයක ක්‍රියාවලියෙ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවයි. එනම්, සුදු කුහරයක් තුළ ඇදගන්නා ලද සියළුම ශක්තිය හා අවකාශය පිටතට ඉතා වේගයෙන් මුදා හරිනු ලබයි.

ඉහතින් ඔබට දැනගැනීමට රාත්‍රී අහසේ ඔබ අලංකාර ලෙස දකින තරුවක ජීවිත කතාවයි.


©රයිනි චාරුකා

Graphic by : Pavith Madhura


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Education💫

Comments

Popular Posts