මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ අනාවැකි


 

    තරු විදු ලොවේ දැනුම සොයා යන ඔයාලත් එක්ක රස රහසක් බෙදාගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. අපි හැමෝම දන්න විදිහට කළු කුහර පුපුරා යාමේ න්‍යාය සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව යන දෙකම පදනම් කරගත්ත ඉංග්‍රීසි ජාතික න්‍යායික භෞතික විද්‍යාඥයෙක් (English theoretical physicist) තමයි මහාචාර්ය ස්ටීවන් හෝකින් කියලා කියන්නේ. හැබැයි අද අපි කතා කරන්නේ කළු කුහර ගැන නම් නෙවෙයි. අභ්‍යවකාශ ගවේෂණය ගැන මහාචාර්ය ස්ටීවන් හෝකින් ඉදිරිපත් කරපු රසවත් වගේම භයානක අනාවැකි කීපයක් ගැන තමයි අද මම කියන්න යන්නේ.

    පළමුවෙන්ම සරලව ඉදිරිපත් කළොත් මානව වර්ගයාගේ පැවැත්ම සහතික කිරීම සඳහා අපිට වෙනත් ග්‍රහලෝක ඒ වගේම සෞරග්‍රහ මණ්ඩල ජනපදකරණය කිරීමට සිදු වෙනු ඇති බව තමයි මහාචාර්ය ස්ටීවන් හෝකින් අනාවැකි පල කළේ. මහාචාර්යවරයා පැහැදිලි කරන විදිහට පෘථිවිය දේශගුණික විපර්යාසයන්, අධික ජනගහනය, යුධමය හේතු වගේම ස්වභාවික සම්පත් අඩුවීමේ තර්ජනයට මුහුණ දීලා තියන නිසා මානව වර්ගයාගේ අනාගතය උදෙසා මානව අභ්‍යවකාශ ගමන් අවශ්‍ය වෙනවා. ඔහු කියන විදිහට නම් මිනිස් විශේෂයට පෘථිවියේ දිගුකාලීන අනාගතයක් නැහැ. දැන් නම් ටිකක් විතර බය හිතෙනවා නේද?

    ඒ වගේම මහාචාර්යතුමා කියනවා පෘථිවිය නැවතත් ග්‍රාහකයක් ගැටීම හේතුවෙන් හෝ අපේම සූර්යයා විසින් ගිල ගැනීම නිසා විනාශ වී යනු ඇති බව. අද වෙනකොට පෘථිවිය තියන්නේ කොතරම් අවදානමකද කියලා තේරුම් ගන්න මහාචාර්ය හෝකින් විසින් ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජාතින්ගෙන් කරපු මේ ඉල්ලීම ම ප්‍රමාණවත් වෙනවා. එයින් කියවෙන්නේ 2020 වන විට සඳ වෙත ගගනගාමීන් යැවිය යුතු බවත්, වසර 30 ක් තුළ චන්ද්‍ර පදනමක් (lunar base) සාදා 2025 වන විට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම ඔවුන්ගේ අරමුණ විය යුතු බවත් ය.

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය වගේම නාසා ආයතනයත් දැන් දැන් මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බව දක්නට ලැබෙනවා. මහාචාර්යතුමා කියපු විදිහට මෙමඟින් අභ්‍යවකාශ වැඩසටහන නැවත අවුලුවාලීමට, නව සන්ධාන ඇති කර ගැනීම වගේම මිනිසාට නව අරමුණක් ඇති කිරීමට හැකි වෙනවා. තවදුරටත් ඔහු ප්‍රකාශ කළ ආකාරයට අභ්‍යවකාශය දක්වා ව්‍යාප්ත වීම මානව වර්ගයාගේ අනාගතය මුළුමනින්ම වෙනස් කරනු ඇති. මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ අනාවැකියට අනුව අනෙකුත් ග්‍රහලෝක ජනපදකරණය කිරීම තවදුරටත් විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි.


    ඊළඟට අපි කතා කරන්න යන්නේ පිටසක්වළ ජීවින් ගැන මහාචාර්ය ස්ටීවන් හෝකින් විසින් කරන ලද අනාවැකිය ගැන. මේ අනාවැකියත් ඔන්න එතරම් සුභදායක එකක් නම් නෙමේ. සරලවම මහාචාර්යතුමා අනාවැකි පල කරන්නේ පිටසක්වළ ජීවින් අප සමඟ සම්බන්ධ වුවහොත් ප්‍රතිඵලය එතරම් සාධනීය නොවිය හැකි බවයි. මහාචාර්යතුමාගේ වචනයෙන්ම කිව්වොත් පිටසක්වළ ජීවින් අප වෙත පැමිණීම බොහෝ දුරට ඇමරිකාවට කොළොම්බස් ගොඩබැස්සට පස්සේ ස්වදේශික ඇමරිකානුවන්ට අත් වුන ඉරණම අපට අත් වෙයි කියලා තමයි කියන්නේ.

 

ඒ විදිහට ප්‍රකාශ කරන්න හේතුව විදිහට මහාචාර්යතුමා කිව්වේ පෘථිවියට ළඟා වීමට සමත් වන පිටසක්වළ ජීවින් නිර්වචනය අනුව අපට වඩා බෙහෙවින් දියුණුයි කියලා අපට සිතා ගත හැකි වීමයි. ඉතින් දැනටමත් පෘථිවිය දිශාවට ඇන්ටනා යොමු කර ඇති පිටසක්වළ ජීවියෙකුට අපේ බුද්ධිමය හැකියාවන් ගැන මනා දැනුමක් තියෙන්න පුළුවන් කියලා මහාචාර්ය හෝකින් ප්‍රකාශ කළා.

2017 අවුරුද්දෙදි රේඩියෝ සංඥා සඳහා විශ්වය පරිලෝකනය කරන පිටසක්වළ ජීවින් සඳහා වූ විශාලතම සෙවුම් වලින් එකක් වූ  Breakthrough listen project එක සඳහා අරමුදල් පවා මහාචාර්ය ස්ටීවන් හෝකින් විසින් සපයා තිබුණත් ආගන්තුක ශිෂ්ඨාචාරයකට අපේ සංඥා ලබා ගත හැකි නම් මිනිස්සුන්ට වඩා වසර බිලියන ගණනක් දියුණු වීමට ඔවුන්ට හැකියාවක් ඇති බැවින් ආක්‍රමණයක පොදු ඉලක්ක බවට අප පත් විය හැකි බවට මහාචාර්ය හෝකින් අනතුරු අඟවා තියනවා.

“Boldly go where no one has gone before - කිසිවෙකු නොගිය තැනට නිර්භීතව යා යුතුයි කියන මහාචාර්ය ස්ටීවන් හොකින් ගේ පණිවිඩයත් මතක් කරන ගමන් ඔයාලට හිතන්නත් යමක් ඉතුරු කරන ගමන් ආයෙමත් මෙවැනි රස රහසක් අරන් එන පොරොන්දුවෙන් සමු ගන්නම්.

 

 

©️ Shashiprabha Nethmini Jayakody

🖼️Graphic by: Pavith Madhura

 

J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Education💫

Comments

Popular Posts