සූර්ය ලප | The Sunspots



    පෘථිවි ජීවයේ පැවැත්ම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන සූර්යයා පිළිබඳව හැදෑරීමේ දී සූර්යයා මතුපිට සිදුවන විවිධ සංසිද්ධීන් පිළිබඳව හැදෑරීම තවත් එක් ප්‍රධාන අංගයක් ලෙස හඳුන්වා දිය හැකිය.  සූර්ය ලප  ( Suns Spot) යනු එම සංසිද්ධීන් අතරින් එක් ප්‍රධාන සංසිද්ධියකි. 

    සූර්ය ලප යනුවෙන් හඳුන්වනු ලබන්නේ සූර්ය ප්‍රකාශ ගෝලය මත පවතින අඳුරු ලප වන අතර සූර්යා මත වටපිටාවට වඩා අඩු උෂ්ණත්වයක් පැවතීම නිසාවෙන් මෙම සූර්ය ලප , අඳුරු ලෙස හැඳින්වේ. ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර , සංවහන ක්‍රියාවලිය මර්දනය කරන බැවින් සූර්ය ලප චුම්භක ක්‍රියාකාරීත්වය වැඩි වීමත් සමඟ වැඩි වන බව පෙන්වා දිය හැකිය.  සූර්යයා මත දැකිය හැකි සූර්ය ලප ප්‍රමාණය නියතයක් නොවන අතර එම සංඛ්‍යාව අඩු වැඩි වීමේ අවුරුදු 11 ක පමණ චක්‍රයක් පවතියි. එය සූර්ය ලප චක්‍රය ( Sun Spot Cycle ) යනුවෙන් හැඳින්වේ. මෙම සූර්ය ලප චක්‍රය,  ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වන හෙන්රි ශ්වොබ් විසින් සිදු කළ දීර්ඝකාලීන සූර්ය නිරීක්ෂණයවලට අනුව සොයා ගන්නා ලදි . 

    එක්තරා කාලයක දී සූර්ය ලප කිහිපයක් පමණක් දක්‌නට ලැබුණත් අනෙක් කාලයේදී සූර්ය ලප වැඩි ප්‍රමාණයක් දැකිය හැකිය. සූර්ය ලප චක්‍රයේ උපරිම තීව්‍රතාවයක් සහිත කාල වකවානුව සූර්ය ලප උපරිමය ( Sun Spot Maximum ) ලෙස ද අවම තීව්‍රතාවයක් ඇති කාල වකවානුව සූර්ය ලප අවමය ( Sun Spot Minimum ) ලෙස හැඳින්වේ.

    තවද, සූර්ය ලප චක්‍රයක දී සූර්ය තැටිය මත සූර්ය ලප ඇති වන ස්ථාන නිරූපණය කර පෙන්වන සටහන මවුන්ඩර් චක්‍රය -  Mounder Cycle ( සමනල චක්‍රය - Butterfly Diagram) ලෙස හැඳින්වේ. 

    සූර්ය ලප ප්‍රථමයෙන් ඉහළ සූර්ය අක්ෂාංශවලින් ආරම්භ වන අතර සූර්ය චක්‍රයේ ඉදිරියට යන විට ඒවා ගණනින් වැඩි වන අතර සූර්ය සමකය දෙසට ඇදී යන බවත් සූර්ය ලප, සූර්ය සමකයේ සිට ඉහළින් හෝ පහතින් අංශක 40 ත්  5 ත් අතර පිහිටන බව දත්ත පෙන්වා දී තිබේ.  

    මෙම සූර්ය ලප , අභ්‍යවකාශ කාලගුණයට මෙන්ම පෘථිවියෙහි දේශගුණික තත්ත්වයන්ටද  බලපෑම් එල්ල කිරීමට සමත්කම් දක්වයි. ඒ කෙසේ ද කිවහොත්,  සූර්ය ක්‍රියාකාරීත්වය වැඩි වීම, වැඩි උෂ්ණත්ව සමඟත් සූර්ය ක්‍රියාකාරීත්වය අඩු වීම උෂ්ණත්වයේ අඩුවීම කෙරෙහි හේතු වීමයි .  එපමණක් නොව 17 වන සියවස තුළ දශක ගණනාවක් ම මෙම සූර්ය ලප ප්‍රමාණය අඩු වී ක්‍රියාකාරිත්වය අඩාල වී තිබීම නිසා මෙම යුගයේ පෘථිවි උෂ්ණත්වය පවා අඩු වී තිබේ. එහෙයින් මෙම යුගය ,  Little Ice Age ලෙස හඳුන්වා දෙනු ලැබූ බව සටහන් වේ. 

සූර්ය ලප බිහිවීම පිළිබඳව සොයා බැලීමේ දී දැනට පිළිගන්නා මතය වන්නේ Babcock න්‍යායයි. 

    සූර්යයා භ්‍රමණය වන විට එහි භ්‍රමණ කාලය සමකය ආසන්නයේ දී ධ්‍රැවයන් දී  ට වඩා අඩු වේ. මෙම හේතුව නිසාවෙන් සූර්ය චුම්භක ක්ෂේත්‍රයේ, චුම්භක ක්ෂේත්‍ර රේඛා වෙනස් වීම් වලට ලක් වී ඇතැම් බල රේඛා කැඩී යන අතර එම ස්ථාන වල ඇතිවන ප්‍රතිවිරුද්ධ ධ්‍රැව හේතුවෙන් හට ගන්නා අමතර චුම්භක බල නිසාවෙන් අභ්‍යන්තරයේ සිට මතුපිටට එන ශක්තිය අඩු වීමක් සිදු වේ. මේ නිසා එම ස්ථානයන් අඳුරු සහිතව දිස්වේ.

    සූර්ය ලපයක ප්‍රධාන වශයෙන් ප්‍රදේශ දෙකක් නම් කළ හැකිය. ඒවා නම්, Umbra සහ Penumbra වේ. Umbra යනු සූර්ය ලපයකට ඇතුළතින් ම පවතින අඳුරු සහගත පෙදෙස වේ. එහි උෂ්ණත්වය සූර්ය ප්‍රකාශ ගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා කෙල්වින් 1600 ක් පමණ අඩු උෂ්ණත්වයකි. Umbra ලෙස හැඳින්වෙන ප්‍රදේශය වටා පිහිටි අඳුරු බව මදක් අඩු පෙදෙස Penumbra නම් වන අතර මෙහි උෂ්ණත්වය සූර්ය ප්‍රකාශ ගෝලය සමඟ සැසඳීමේ දී කෙල්වින් 500 පමණ අඩුය. 

     සූර්ය ලප සම්බන්ධය තවත් වැදගත්  කරුණක් වන්නේ සූර්ය ලප අංකයයි. දිනකට සූර්ය පෘෂ්ඨය මත දක්නට ලැබෙන සූර්ය ලප ප්‍රමාණය සඳහා අදාල අංකය , සූර්ය ලප අංකය ( International Sun Spot Number / Wolf Number) වේ. සූර්යයා යම් නිරීක්ෂණ වාර්තාවක් තබන විට දී Wolf Number සටහන් කිරීම අනිවාර්ය වන අතර මෙය ආර්.වුල්ෆ් විසින් හඳුන්වා දී ඇති බව සඳහන්ය. 

R = k (10g + s)

R - සූර්ය ලප අංකය

f - තනි සූර්ය ලප සංඛ්‍යාව

g - සූර්ය ලප පොකුරු සංඛ්‍යා

k - නිරීක්ෂකයාගේ කාර්යක්ෂමතාවය මත පවතින නියතයකි.



© K.H. Harshi Priyanwada

Graphics By -  Pavith Madura


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Education

Comments

Popular Posts