Sun's Halo☀️


        සූර්‍යයා වටා මේ විදියට වර්ණවත් හෝ සුදු පැහැ වළල්ලක් දර්ශනය වීම Sun's halo ලෙස හඳුන්වනවා. සූර්‍යයා වටා පමණක් නොව චන්ද්‍රයා වටාද මෙසේ වළල්ලක් දර්ශනය වෙන්න පුළුවන්. මේකට භෞතික විද්‍යාත්මක හේතුව තමයි ආලෝකයේ සිදු වෙන වර්තනය සහ පරාවර්තනය. සූර්‍යයා විද්‍යුත් චුම්භක වර්නාවලියේ ඇති සෑම තරංගයක්ම වගේ නිකුත් කරනවා. ඒත් ඒකෙන් අපිට පෙනෙන්නෙ සීමිත පරාසයක් විතරයි. ඒක visible range, එහෙමත් නැත්නම් දර්ශන පරාසය කියලා හදුන්වනවා. මේ දර්ශන පරාසය තුළ තමයි අපි දේදුන්නෙ දකින පාට 7 ට අදාළ තරංග ආයාම තියෙන්නෙ. මේ පාට 7 ට අදාළ සේරම තරංග එකට දකිද්දි ඒක සුදු පැහැයෙන් දිස් වෙනවා. සුදු ආලෝකය අපි ප්‍රිස්මයක් හරහා යැව්වොතින් ඒක වර්තනය වෙලා හැදිලා තිබුණ පාට 7ට වෙන් වෙනවා දැක ගන්න පුළුවන්. මේ halo එකේ වෙන සංසිද්ධියත් ඒකයි. අපේ වායු ගෝලයේ ඇති වලාකුළු ජල අංශු සහ අයිස් ස්ඵටික වලින් සමන්විතයි. සූර්යාලෝකය මේ හරහා ගමන් කරද්දි ප්‍රිස්මය හරහා ගමන් කරද්දි වගේ වර්තනයට ලක් වෙලා පාට වලට වෙන් වෙනවා. පරාවර්තනය පමනක් වීම නිසා ඇතැම් විට සුදු පාටට දකින්නත් පුළුවන්. විද්‍යාඥයින් මේකට 22 - degree halos කියලත් කියනවා. මොකද මේවයේ අරය ආසන්න වශයෙන් අංශක 22 ක්  නිසා. මේ අංශක විසි දෙකේ කතාව ආසන්න වශෙයෙන් තහවුරු කර ගන්න අපිට පුළුවන්. අතක් සම්පූර්ණයෙන්ම දිග හැරලා සුලැඟිල්ලත් මහපටැඟිල්ලත් විතරක් දිග හැරන් අනිත් ඇඟිලි නවා ගෙන ඒ අතරින් බැලුවම පරතරය ආසන්න ලෙස අංශක 25ක්. ඒ වගේම සුලැඟිල්ලත් දබරැඟිල්ලත් අතරින් බලුවම පරතරය ආසන්න වශයෙන් අංශක 15. සමහර විට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක පොඩි ළමයි සහ වැඩිහිටි අය බලුවම දෙවිදියක් නේද කියලා. නැහැ!. මොකද අපේ ඇඟිලි අතර පරතරය සහ අතේ දිග සාමාන්‍යයෙන් සමානුපාතිකවයි වෙනස් වෙන්නෙ. ඒ නිසා ලොකු වෙනසක් ඇති වෙන්නෙ නැහැ. 

        තව දුරටත් මේ halo එකක ඇතුළ රතු පාටත් පිටත නිල් පාටට හුරුව දිස් වෙනවා දැකලා ඇති. ඒකට හේතුව ආලෝකය වර්තනය වෙන්නෙ තරංග ආයාමයන්ගෙ පිළිවෙලට වීමයි. තරංග ආයාමය වැඩි වර්ණ අඩුවෙන් වර්තනයයි වෙන්නෙ. රතු ආලෝකයේ තමයි තරඟ ආයාමය වැඩිම. ඒ නිසා රතු අඩුවෙන් වර්තනය වෙලා වළල්ලෙ ඇතුලෙන් පිහිටනවා, නිල් පාට වැඩියෙන් වර්තනය වෙලා වළල්ලෙන් පිටත පිහිටනවා. දැන් ප්‍රශ්නයක් ඇති ඇයි දම් පාටෙ තමයි තරංග ආයාමය අඩුම වුනත් දම් නැතුව නිල් පාට පෙනෙන්නෙ කියලා. ඒකට හේතුව තමයි අපේ ඇස් වඩාත් සංවේදී නිල් පාටට. ඒ නිසා නිල් පැහැය වඩාත් ප්‍රභලව පේනවා. (අහස නිල් පාට වෙන්නත් මේක එක හේතුවක්, ඒත් එකම හේතුව ඒක නෙවෙයි.) Moon's halo එකත් මේ විදියට ඇති වුනත් අපිට මේ වගේ පැහැදිලි වර්ණ වලට වෙන් වෙනවා දකින්න අමාරුයි. ඒකට එක හේතුවක් සඳේ දීප්තිය අඩු වීම. ඒත් රතු පාට නම් දකින්න පුළුවන්. 

        වැදගත්ම කාරණය තමයි අපි මේ  දකින halos අපි ඒ දිහා බලන පළාත අනුව වෙනස් වෙනවා. මොකද මේක අපට දර්ශනය කරන අයිස් ස්ඵටික සහ ජල අංශු සහිත වළාකුළු (cirrus clouds)වල හැසිරීම බලන කෝණය, ඉන්න තැන අනුව වෙනස්. ඒනිසා වර්තනය වුන ආලෝක කිරන දකින විදියත් වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් ප්‍රදේශ වලට දිස් නොවෙන්නම පුළුවන්. 

        අවසාන වශෙයෙන් මේ සසිද්ධිය බලන්න පොඩි ප්‍රායෝගිය අදහසක් කියලම නතර කරන්නම්. සමහර වතුර බොන වීදුරු වල පතුළෙ crystals හැඩ තියනවා. ඒ වීදුරුවක ඇතුළෙන් සුදු torch එකක් අල්ලලා එළිය බිත්තියකට වැටෙන්න සැලැස් වුවොත් ඒ වගේම සුදු රවුමක් හැදෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි මේක හරියට නොවෙන්නත් ඉඩ තියනවා තෝර ගන්න වීදුරුව මත. කොහොම වුනත් මේ පරීක්ෂනයෙදි වර්ණ වලට වෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒත් වෙන දේ ගැන අදහසක් ගන්න නම් පුළුවන් වෙයි.


Information by - Kavindu Sellahewa.


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation

Comments

Popular Posts