ජපානයෙන් නව චන්ද්‍රිකාවක්?

 


ජපානය නව ආකාරයක චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැරසෙයි.
ජපානය සාමාන්‍යයෙන් නව නිර්මාණවලට ප්‍රසිද්ධ රටක් ලෙස සලකනු ලබයි.මෙම ලිපියෙන් අප අද ඔබ හමුවට ගෙන එන්නේ ජපානය විසින් එසේ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති දැවමය චන්ද්‍රිකාවක් පිළිබදවයි. මෙම චන්ද්‍රිකාව සැලසුම් කිරීම 2020 අගභාගයේ ආරම්භ කල අතර 2023 වනවිට කක්ෂගත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. එහෙත් මෙතෙක් කාලයක් පුරාවට සාර්ථකව නිර්මාණවලට භාවිත කල ලෝහ වෙනුවට දැව භාවිත කිරීමට ජපානයට අවශ්‍ය වුනේ ඇයි ?
ඔවුන් මෙම ව්‍යාපෘතිය මගින් චන්ද්‍රිකාවලින් අභ්‍යවකාශයට  එකතුවන කසල ප්‍රමාණය අඩුකිරීමට උත්සහ කරයි. දැනට පෘථිවි කක්ෂයේ එක්රැස්ව පවතින අභ්‍යවකාශ කසල ප්‍රමාණය කෙරෙහි මෙම නව චන්ද්‍රිකාවට කළහැකි බලපෑම අතිශයින් නොසැලකිය හැකි තරම් වුවත්, මෙම ක්‍රමය  සාර්ථක වුවහොත් මින් ඉදිරියට එකතුවන කසල ප්‍රමාණය හෝ අවම කරගැනීමට අපට හැකි වනු ඇත.
අභ්‍යවකාශ කසල, එසේත් නැතිනම් space junk ගැන ඔබ අනිවාර්යෙන්ම අසා ඇති. මේ space junk  එහෙමත් නැත්තම් මේ අභ්‍යවකාශ කසල ප්‍රධාන වශයෙන්ම එක්රැස් වෙන්නේ පෘථිවි කක්ෂයේ ඇති අකර්මන්‍ය වුන චන්ද්‍රිකාවල කොටස් හා අභ්‍යවකාශ යානා දියත් කිරීමේ විවිධ අදියරවලදී අත්හැර දැමූ කොටස්වලින්  වේ. දැනට අභ්‍යවකාශයේ පවතින චන්ද්‍රිකා 6000න්, 60%ක් ම පමන අකර්මන්‍ය වූ ඒවා වෙයි. එසේම උඩුගුවනේ පතින 10cm ට වඩා විශාල අපද්‍රව්‍ය කැබලි ප්‍රමානය 34,000ක් පමණ වන බවට ඇස්තමේන්තු ගත කර ඇත. 18,000kmph තරම් වේගයෙන් ගමන් කරන මෙවැනි කැබලි දැනට ක්‍රියාත්මක චන්ද්‍රිකාවලට හා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානිදායක විය හැකි අතර යම් කොටසක් පෘථිවියට පතිතවන විට සම්පුර්ණයෙන්ම දහනය වී නොතිබුණහොත් එයද හානි දායක විය හැක. මෙම කරුණු සලකාබලා අනාගතයේදී එකතුවන කසල ප්‍රමාණය අවම කිරීමට මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.
මෙම ව්‍යාපෘතියේ ඉදිරි පෙල සාමාජිකයෙකු වන, Takao Doi මහතා 2008 වසරේදී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය ජපන් ජාතික ගනගමියෙක් වන අතර මෙම ව්‍යාපෘතිය සිදු කරන ක්‍යෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද වේ. ඒ මහතා පැවසා ඇත්තේ දැනට මෙහි පළමු අදියර ලෙස අභ්‍යවකාශයේ පවතින විශේෂ තත්ත්වවලට ගැලපෙන දැව වර්ග පිළිබද පර්යේෂණ කරන බවත්, ඒ අනුව විශාල ආලෝක හා උෂ්ණත්ව වෙනස්විම්වලට් ඔරොත්තු දිය හැකි දැව අමුද්‍රව්‍ය පළමුව සලකා බැලෙන බවත් ය. එහි දෙවන පියවර ලෙස චන්ද්‍රිකාවේ හා එහි පියාසැරියේ මොඩල නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වුවද මෙමෙ චන්ද්‍රිකාවේ ලෝහ කොටස් වෙනුවට දැවවලින් ප්‍රතිස්ථාපනය කළහැකි ප්‍රමාණය සීමිත වෙයි. මක්නිසාද යත් චන්ද්‍රිකාවේ අඩංගු වන ඉලෙක්ට්‍රොනික උපාංග වෙනුවෙන් තවදුරටත් සන්නායකම භාවිතා කිරීමට සිදුවීමයි. මේ  අනුව දැවවලින් නිර්මාණය කිරීමට හැකි වන්නේ බොහෝවිට එහි පිටත සැකිල්ල පමණක් වීමට ඉඩ ඇත. මෙසේ පිටත සැකිල්ල දැවවලින් නිර්මාණය කිරීමේ ද යම් වාසියක් පැවතිය හැකි බවට තොරතුරු වාර්තා වෙයි.  එනම් මෙහි භාවිත වන බොහෝ පර්යේශන හා සන්නිවේදන ඇන්ටනා චන්ද්‍රිකාවේ සැකිල්ල තුලටම අන්තර්ගත කිරීමට හැකි වන නිසා එහි ප්‍රමාණය තව කුඩා කරගැනීමට හැකිවීමයි. මෙසේ ඇන්ටනා චන්ද්‍රිකාවේ සැකිල්ල තුලටම අන්තර්ගත කිරීමට හැකි වන්නේ දැව හරහා රේඩියෝ තරංගවලට ගමන් කිරීමට ඇති හැකියාව නිසා ය.
මෙම නව නිර්මාණය අභ්‍යවකාශ කසලවලින් සිදුවන හානිය අවම කරන්නනේ කෙසේද යන්න සලකා බැලීමේදී පර්යේෂකයන් පවසන්නේ චන්ද්‍රිකාව නැවත පෘථිවියට පතිත වනවිට කිසිදු හානිකර ද්‍රව්‍යක් වයුගොලට මුදානොහැර දහනය වන අතර පෘථිවිය මතට සුන්බුන් පතිත වීමක් සිදු නොවන බවයි. මේ අනුව ගත් කල ජපානයට තම නිර්මාණය සාර්ථකව දියත් කිරීමට හැකි වුවහොත් එය අනාගතයේ අපට අභ්‍යවකාශ කසල අවම කර ගැනීමට අවස්ථාවක් උදා කරනු ඇත.

©සයුනි මෙන්ඩිස්.
Graphics by Deshan Rathnayake

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Education

Comments

Popular Posts