මැරුණ රේඩියෝ දුරේක්ෂය(ඇරිසිබෝ)





පහුගිය මාසයේ දී අපිට අහන්න ලැබුන අසුබම ආරංචියක් තමයි ලෝකයේ වටිනාම රේඩියෝ දුරේක්ෂයක් වූ ඇරිසිබෝ දුරේක්ෂය(Arecibo Observatory) සම්පූර්ණයෙන්ම විනාශ වුණ සිද්ධිය.
මේ ඇරිසිබෝ දුරේක්ෂය තියෙන්නේ පෝටෝරිකෝ දූපත් වලට අයිති එක දූපතක, මුහුදු මට්ටමට වඩා මීටර් 498ක් උසින් අක්කර 118ක භූමි වපසරියක. මේකට අපි හැමෝම ඇරිසිබෝ කියල කිව්වත් මේකෙ මුල් නම National Astronomy and Ionosphere Center(NAIC) කියන එක. 1963 නොවැම්බර් මාසයේ දී නිම වූ දා සිට අවුරුදු 53ක් ඇරිසිබෝ තමයි ලෝකෙ ලොකුම රේඩියෝ දුරේක්ශය උනේ. ඉන් පසුව 2016 ජූලි මාසයේදී චීනය විසින් මීටර් 503ක අරයක් සහිත විශාල රේඩියෝ දුරේක්ශයක් (FAST) නිම කරනු ලැබූ අතර එතැන් පටන් ලොව විශාලත ම රේඩියෝ දුරේක්ශය වූයේ එයයි.
මෙම නිරීක්ෂණාගාරය වසර 57 ක් පුරා ගුවන්විදුලි තාරකා විද්යායින්ගේ ප්රධාන විද්යාත්මක සම්පතක් වූ අතර 1995 ජේම්ස් බොන්ඩ් චිත්රපටයේ ගෝල්ඩන් අයි චිත්රපටයේ පියර්ස් බ්රොස්නන් සමඟ නාට්යමය සටන් ජවනිකාවක පසුබිම ද විය. එය 1997 ජෝඩි ෆොස්ටර් චිත්රපටය වන Contact හි ද දර්ශනය විය. නමුත් අරිසිබෝගේ සැබෑ උරුමය පවතින්නේ එය කළ හැකි බොහෝ විද්යාත්මක සොයාගැනීම්වල ය.
ඇරිසිබෝ මෙතරම් වැදගත් වන්නේ ඇයි?
තාරකා විද්යාත්මක ගවේෂණ වලදි ඉතාම වැදගත් වෙන පැත්තක් තමයි DSN,එනම් Deep Space Network - ගැඹුරු අභ්යාවකාශ ජාල පිළිබඳ කරන්නා වූ ගවේෂණ.එය නාසා හි අන්තර් අභ්යවකාශ යානා මෙහෙයුම් සඳහා සහාය වන ලොව විශාලතම සහ සංවේදීම විද්යාත්මක විදුලි සංදේශ පද්ධතියකි. එහි දී රේඩියෝ දුරේක්ෂ යොදා ගැනීම ද සිදු කෙරේ.
එමෙන්ම අප අභ්යාවකාශය සැලකූ විට එය කෙතරම් සංකීර්ණ ද යැයි පැවසුවහොත්, එහි දී කිලෝමීටර් කියන්නෙ ගණනයන් වලදී ඉතාමත් කුඩා ඒකකයකි. එම නිසා එහි දී භාවිතා කරනුයේ නක්ෂත්ර ඒකක AU, ආලෝක වර්ශ LY සහ parsec කියන ඒකකයන් වේ. එමෙන්ම සෞරග්රහ මණ්ඩලයේ දුරට ගිය යානා වලින් එන දුර්වල සංඥා ග්රහණය කර ගැනීමටත් දියුණු මෙන්ම ඉතා විශාල රේඩියෝ දුරේක්ශ අවශ්ය වෙනවා. එලෙසම අපේ සෞරග්රහ මණ්ඩලය ඇතුළත ග්රහලෝක, චන්ද්රයන්, වල්ගාතරු වගේම ග්රාහක කොටස් නිතරම ගමන් කරනවා. මේවා පැමිණෙන්නේ පෘථිවිය වෙත නම්, ඒවා පැමිණෙන බව අපි දන්නෙත් නැතිනම් කුමක් සිදු වේවිද? සමහර විට පැය 24ක් ඇතුළත මුලු පෘථිවියම විනාශ වෙලා යන්න පුලුවනි. මොකද එතරම් විනාශයක් කරන්න පුලුවන් ග්රාහක ඕනෑ තරම් පෘථිවිය ළඟින් නිතරම යාම සිදුවන නිසා වෙනි . අපිට රේඩියෝ දුරේක්ශයන්හි වටිනාකම තදින්ම දැනෙනුයේ ද එවන් අවස්ථා වලදී වේ. ඒ කෙසේද යැයි සැලකුවොත්,
පෘථිවියේ ලගින් ම ගියපු ගොඩාක් ග්රාහක කල් තියා අඳුරගන්න මේ ඇරිසිබෝට පුලුවන් වීම විශේෂත්වයක්. ඒවායින් ප්රධානම එකක් තමයි 2013දි පෘථිවියට සැතපුම් 17 200 ක් තරම් ලගින් ගියපු 2012DA14 ග්රාහකය අඳුර ගැනීම. සාමාන්යයෙන් හඳට තියෙන දුරත් කිලෝමීටර් 300 000ක් වැනි ය. ඊට අමතරව බුධ වගේම සිකුරු මතුපිට රේඩියෝ සිතියම නිර්මාණයටත් ඇරිසිබෝ උදව් වී තිබෙනවා. ඒ වගේ ම තවත් ගොඩක් අවස්ථාවන් වලදී මෙම ඇරිසිබෝ යොදා ගැනීමට නාසා ආයතනය සමත් වී තිබුණි.
ඊලගට SETI - Searching for Extra Terrestrial Intelligence වැඩසටහන සැලකුවොත් මෙයින් කරනුයේ ගැඹුරු අභ්යවකාශයේ තිබිය හැකි දියුණු පිටසක්වල ශිෂ්ටාචාර පිළිබඳ සෙවීමයි. SETI යනු අපේ සාමාන්ය මිනිස්සු සිතන තරම් ලඳබොලඳ ව්යාපෘතියක් නොවේ. NASA විද්යාඥයින් මෙවැනි දේවල් සඳහා මුදල් පොම්ප කරමින් ඉතාමත් මහන්සියකින් පර්යේෂණ සිදු කරනු ලබනවා. ඉතින් මේ SETI මෙහෙයුම් වලට හිටපු තුරුම්පු ආසියා තමයි ඇරිසිබෝ කියන්නෙ. මේ රේඩියෝ දුරේක්ශය නිතරම වගේ, පිටසක්වලින් පැමිණිය හැකි රේඩියෝ සංඥාවකට කන් දීගෙන හිටපු යෝධ රේඩියෝ කනක් වැනිය. එම නිසා මේ ඇරිසිබෝගේ අඩුව SETI වැඩසටහන් වලට ඉස්සරහට තදින්ම දැනේවි.
නමුත් ඇරිසිබෝ ප්රසිද්ධ මේ කිසිම දෙයකට නොවේ . ඒ ඇරිසිබෝ පණිවිඩය නිසා වෙනි. ඇරිසිබෝ පණිවිඩය යනු 1974 දී ගෝලීය තාරකා පොකුරු M13( එය ආලෝක වර්ශ 21,000 ක් විතර එපිටින් තිබෙනා star cluster එකකි.) වෙත යවන ලද මානව වර්ගයා සහ පෘථිවිය පිළිබඳ මූලික තොරතුරු රැගත් අන්තර් තාරකා ගුවන් විදුලි පණිවිඩයකි. එහි අර්ථය වූයේ පිටසක්වල ජීවීන් සමඟ සංවාදයකට අවතීර්ණ වීමේ සැබෑ උත්සාහයක් නොව මානව තාක්ෂණික ජයග්රහණ නිරූපණය කිරීමයි . මේ සඳහා මූලික වී තිබෙනුයේ ෆ්රෑන්ක් ඩ්රේක් වගේම ජීවිතේට අමතක කිරීමට නොහැකි මහ මොලකරු කාල් සේගන්. (ෆ්රෑන්ක් ඩ්රේක් විසින් පිටසක්වල ශිෂ්ටාචාර ගණනය කිරීම සඳහා ඩ්රේක් සමීකරණය හදුන්වා දෙන ලදි.). ඉතින් SETI වගේම DSN system සඳහා ද මෙම ඇරිසිබෝ නැතිවීම විශාල පාඩුවක්.
ඇරිසිබෝට මුල්ම පහර වදින්නේ 2017 සැප්තැම්බර් 20 පෝටෝරිකෝ හරහා හමාගියපු මාරියා හරිකේන් නැමැති දරුණු සුළි සුළං තත්ත්වයෙනි.එයින් අඩි 96ක් දිග ඇන්ටනාවට ලොකු හානියක් සිදු වී තිබෙනවා. ඊට පසු ටික කලක් ඇරිසිබෝ වසා ද තිබී තිබිණි. නැවතත් මේ පහුගිය මාසයේදී එහි උඩ තිබෙන වේදිකා කොටසේ කම්බියක් කැඩී තිබේ.ඒවා හි තත්ව පරීක්ෂණ කළ පසු එහි නිලධාරීන්ට තේරී තිබෙන්නේ මෙය ප්රතිසංස්කරණය කිරීම සිදු කළ නොහැකි බවයි. ඒ අතරේ ම තවත් සතියක් ඇතුලත දී තවත් කම්බියක් කැඩී තිබේ. ඊට පසුව එක දිගට කම්බි කැඩී ටොන් ගානක් බර මැද කොටස පහලටම කඩාගෙන වැටී තිබේ. ඉතින් පහුගිය සතියෙ දි මෙම දුරේක්ශය සම්පූර්ණයෙන්ම වගේ විනාශ වී තිබුණා.
ඇරිසිබෝ නැති වුණත් අපේ වාසනාවකට වගේ චීනයේ FAST දුරේක්ශය පර්යේෂණ සඳහා යොදාගැනීමට හැකි වේ. එම නිසා මගහරුණ රාජකාරි එමගින් ඉක්මනින්ම සිදු කිරීමට විද්වතුන් හට හැකි වේවි යැයි අපේක්ෂා කළ හැකිය.එපමණක් නොවේ, ඇරිසිබෝ විනාශ වූ පාඩුව NASA ද එමගින් මගහැර ගනිවි යැයි අප අපේක්ෂා කරමු.
©චමීෂා රෂානි
Graphics by Deshan Rathnayake
J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

Comments

Popular Posts