2020 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය කළු කුහර වෙතට ඇදී යයි..

 2020 භෞතික විද්‍යා  නොබෙල් ත්‍යාගය කළු කුහර වෙතට ඇදී යයි..



 2020 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය තාරකා විද්‍යා සොයාගැනීම් සඳහා පිරිනැමීම තාරකා විද්‍යාව හදාරන අපට සතුටුදායක ආරංචියකි.


ශ්‍රී ලංකාවේ මුදලින් නම් ආසන්න වශයෙන්  රුපියල් මිලියන 200ක් පමණ වන භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර සම සේ බෙදෙන පරිදි සොයාගැනීම් දෙකකට පිරිනැමුණි. මෙහි විශේෂත්වය නම් මෙම සොයාගැනීම් දෙකම කළු කුහර හා සම්බන්ධ ව වීමයි. 

කළු කුහර යන වචනය අපට ඉතාමත් හුරු පුරුදුය. එමෙන් ම පසුගිය වසරේ දී, ප්‍රථම වතාවට කළු කුහරයක ඡායාරූපයක් දැක ගැනීමට අප සැමට අවස්ථාව උදා විය. 


අප දන්නා පරිදි කළු කුහරයක් සතු ව ආලෝක කිරණ පවා තමා වෙත ඇද ගැනීමට හැකි විශාල ගුරුත්වාකර්ෂණ බලයක් පවතී. 


නමුත් කළු කුහර සැබවින් ම පවතිනවා ද යන්න පිළිබඳ සාපේක්ෂතා වාදය ඉදිරිපත් කළ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ට පවා විශ්වාස කිරීමට හැකි තරම් සාක්ෂි නො තිබිණි.


අයින්ස්ටයින්ගේ මරණයෙන් වසර 10 කට පමණ පසු (1965 දී), "රොජර් පෙන්රෝස්" කළු කුහර සත්‍ය වශයෙන් ම සම්භවය විය හැකි බවට කරුණු සහිත ව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළේය. එහි දී ඔහු කළු කුහරයක් මධ්‍යයේ ඝනත්වය අනන්ත වූ ලක්ෂයක් පවතින බව පැවසූ අතර ඔහු විසින් එම ලක්ෂය අපූර්වතා ලක්ෂය (singularity)  යනුවෙන් හඳුන්වන ලදී. එමෙන් ම  අපූර්වතා ලක්‍ෂය තුළ දී අප පරිසරයේ සිදුවීම් පැහැදිලි කරන භෞතික විද්‍යා  නියමයන් වලංගු නොවන බවත් වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු ඉදිරිපත් කළ මෙම පැහැදිලි කිරීම සාධාරණ සාපෙක්ෂතා වාදය තහවුරු කිරීමට ප්‍රධාන දායකත්වයක් දැක්විය. රොජර් පෙන්රෝස් හට 2020 වර්ෂයේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් අර්ධයක් පිරිනැමුණේ මේ සොයා ගැනීම වෙනුවෙනි.


මෙම නොබෙල් ත්‍යාගයේ අනෙක් අර්ධය, "රෙයින්හාඩ් ගෙන්සල්" සහ "ඇන්ඩ්‍රියා ගේස්" යන  විද්‍යාඥයින් දෙදෙනාට සම සේ පිරිනැමුවේ, අප අයත් වන මන්දාකිණිය වන ක්ෂීරපථයේ මධ්‍යයේ පිහිටි සුපිරි ස්කන්ධය සොයා ගැනීම වෙනුවෙනි.

මොවුහු 90 දශකයේ මුල් භාගයේ දී ක්ෂීරපථයේ සැපිටේරියස් A (Sagittarius A) නම් කලාපය වෙත වැඩි අවධානයක් යොමු කළහ. එහි දී ඔවුන්ට නිරීක්ෂණය කිරීමට හැකි වූයේ මන්දාකිණියේ පිහිටි දීප්තිමත් ම සහ විශාල ම තාරකා, ක්ෂීරපථයේ කේන්ද්‍රය වටා පරිභ්‍රමණය වන බව ය. එසේ වීමට නම් අධික ගුරුත්වාකර්ෂණ බලයක් ලබා දීමට හැකි වස්තුවක් මන්දාකිණියේ මධ්‍යයේ තිබිය හැකි බවට ඔවුහු නිගමනය කළහ. එමෙන් ම එවැනි ගුරුත්වාකර්ෂණ බලයක් ලබා දීමට නම් එම වස්තුවේ ස්කන්ධය අපගේ සූර්‍යයාගේ ස්කන්ධය මෙන් මිලියන 4 ක් පමණ විය යුතු වන අතර එය අපගේ සෞරග්‍රහ මණ්ඩලය වපසරිය වැනි කුඩා වපසරියක (මන්දාකිණියට සාපෙක්ෂව) පැවතිය යුතු බව වැඩිදුරටත් සොයා ගන්නා ලදී.

ක්ෂීරපථය මධ්‍යයේ දැවැන්ත අන්තරීක්ෂ වායු (intestellar gas)  වලාවකින් වැසී තිබෙන නිසා, පවතින තාක්ෂණය උපයෝගී කර ගෙන එය නිරීක්ෂණය කිරීම අපහසු තත්ත්වයක් විය.  එම නිසා කළු කුහරය නිරීක්ෂණය කිරීමට නවත ම තාක්ෂණයන් හා උපකරණයන් යොදා ගනිමින් දීර්ඝ කාලීන පර්යේෂණයක නිරත වීමට සිදුව ඇත. මොවුන්ගේ මෙම පර්‍යේෂණය, ක්ෂීරපථය මධ්‍යයේ සුපිරි ස්කන්ධ කළුකුහරය පවතින බවට ප්‍රමුඛ සාක්ෂියක් විය.


© අශේන් දීමන්ත ලියනගේ


Graphics by ashen deemantha


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2020

#planetof_Education

Comments

Popular Posts