සහසක් රහස් සැඟවුණු කිරි සයුර

සහසක් රහස් සැඟවුණු කිරි සයුර

ඇතැම් රාත්‍රීන් වල වළාකුලින් තොර පැහැදිලි අහස සිසාරා,විසිරුණු කිරි බිඳිති සිහි ගන්වමින් ඇඳුනු, තරුවලින් පිරුණු පථයක් බොහෝ දෙනා දැක ඇතිවාට සැක නැත.සැබැවින්ම ඒ කුමක්දැයි  ඔබ දැන සිටින්නට ද ඇත.විශ්වයේ අපූර්ව නිර්මාණයක් වන එය මනුෂ්‍යත්වයේ තිඹිරිගෙය යි.නැතහොත් "ක්ෂීරපථය" (Milky Way) හෙවත් අප අයත් වන මන්දාකිණිය(galaxy) යි.

මන්දාකිණියක් නැතහොත් චක්‍රාවාටයක් යනු බිලියන ගණනක් තාරකා සහ ඒවායේ ග්‍රහ මණ්ඩල වලින්ද විවිධ වායුන් සහ දූවිලි අංශූන්ගෙන්ද සමන්විත ඒකකයකි.විශ්වය පුරා බිලියන ගණනක් ඇති එක් එක්  මන්දාකිණි එම වස්තූන් රඳවාගෙන සිටින්නේ ඒවායේ පවතින ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙනි.අප ක්ෂීරපථය මධ්‍යයේ ද සූර්යයා මෙන් බිලියන ගුණයක් විශාල " Sagittarius A*" ලෙසින් නම් දරන " Supermassive" වර්ගයේ කළු කුහරයක් පවතී.

ආලෝක වර්ශ 120000-180000 පමණ විශ්කම්භයකින් යුතු ක්ෂීරපථය දණ්ඩ සර්පිලාකාර (Barred Spirial) මන්දාකිණියක් වන අතර මෙහි දණ්ඩාකාර මධ්‍ය කලාපය වටා පැතලි තැටියක් ලෙසට තාරකා,වායුන් සහ දූවිලි අංශූන් විසිරී ඇත.මෙහි ඇති බොහෝ තාරකා වසර බිලියන 4.5ටත් වඩා එනම් අප සූර්යයාටත් වඩා පැරැණි ය.එමෙන්ම රතු වාමන තාරකාවන් සුලබව පවතියි.

ක්ෂීරපථයේ ප්‍රධාන බාහු සතරක් ඇති බවට පෙරදී විශ්වාස කෙරුනද මෑතකදී නාසා(NASA) හි "Spitzer" අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් ලබාගත් අධෝරක්ත (infrared) රූප භාවිතයට ගනිමින් විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙහි විචිත්‍රවත් සර්පිලාකාර හැඩය පවතින්නෙ මන්දාකිණියේ හදවත ලෙස සැලකෙන මධ්‍යගත දණ්ඩාකාර කලාපය වටා එතී විහිදී වෙන්ව පවතින ප්‍රධාන බාහු යුගලයක් මගිනි."Scutum-Centautus" සහ "Perseus" නම් එම ප්‍රධාන බාහු යුගලය අතරින් පිහිටි වඩා වෙන් නොවුන " Norma" සහ "Sagittarius" නම් වූ කුඩා බාහු යුගලයක්ද පවතී.මේ සුවිසල් මන්දාකිණිය ඇයගේ Sagittarius සහ Perseus බාහු අතරින් පිහිටි පාර්ශ්වික බාහුවක් නැතහොත් නෙරුවක්(Spur) වන Orion බාහුවේ අප සෞරග්‍රහ මණ්ඩලය දරා සිටි.ඒ මන්දාකිණි කේන්ද්‍රය සිට ආලෝක වර්ෂ 27000ක් පමණ දුරිනි.තවමත් ක්ෂීරපථයෙන් පිටත සිට එහි සම්පූර්ණ ඡායාරූපයක් ලබාගෙන නොමැති බැවින් එහි හැඩය පිළිබඳ නිගමනයන්ට එළඹී ඇත්තේ විද්‍යාඥයන් විසින් සිදුකරන ලද ගවේෂණයන්, නිරීක්ෂණයන් හා උපකල්පනයන් අනුව බවද කිව යුතුය.

අධිකව දූවිලි අංශූන් සහ වායුන්ගෙන් සැදුම්ලත් සර්පිලාකාර බාහු තුල නිරන්තරයෙන් නව තාරකා බිහිවීම සිදුවන අතර තැටියක් ලෙසට සැකසුණු බාහුන් ආලෝක වර්ෂ දහසක පමණ ඝනකමින් යුක්ත වේ.

ක්ෂීරපථය නිරන්තරයෙන් භ්‍රමණය වෙමින් පවතින අතර අප සූර්යයා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය ද ඒ සමගම ගමන් කරයි. සාමාන්‍යයෙන් අප සෞරග්‍රහ මණ්ඩලය එලෙස පැයට කි.මි.828000 ක පමණ වේගයෙන් ගමන් කළද එයට ක්ෂීරපථය වටා සම්පූර්ණ වටයක් ගමන් කිරීමට නම් වසර මිලියන 230ක් පමණ ගතවනු ඇති බව පැවසේ. එසේ නම් අප විශ්වයේ විශාලත්වය පිළිබඳ සිතා ගැනීමට තවත් සාධක කුමටද?

එතරම් සුවිසල් අප ක්ෂීරපථය දැවැන්ත රැස් මාලාවකටද මැදිවී ඇති බව ඔබ දැන සිටියාද? NASA හි  " Chandra X-ray observatory" දුරේක්ෂය මගින් ලබාගෙන ඇති සාක්ෂි වලට අනුව අලෝක වර්ෂ දහස් ගණනක් දුරට විහිදෙන උණුසුම් වායුන්ගෙන් සමන්විත ප්‍රභා මණ්ඩලයක් ක්ෂීරපථය වට කර සිටී.එහි ස්කන්ධය මන්දාකිණිය පුරාවට ඇති සියලුම තාරකාවන්ගේ ස්කන්ධයට සමාන කල හැකි බවට නිමානය කර ඇත.එසේ වුවද එය තුල අන්තර්ගත තාරකා ප්‍රමාණය ක්ෂීරපථයේ ඇති තාරකා ප්‍රමාණය මෙන් 2% ක් පමණකි.

මෙවැනි ආශ්චර්යජනක සුවිසල් නිර්මාණයක් තුල ඉතා ක්ෂුද්‍ර අංශුවක් නියෝජනය කරන අපට විශ්වය අතැඹුලක් සේ දැකීමට කොපමණ කලක් ගත වේද?

©වෙණුෂ්කා ඕෂධී කරුණාතිලක
Graphics by Deshan Rathnayake

විශ්වයේ අභිරහස් ගැන  පිපාසයෙන් සිටින ඔබේ මිතුරන් අතර අපේ ලිපි share කරන්න.

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Education

Comments

Popular Posts