අතීතයට ගිහින් තමන්ගෙම සීයා මැරුවොතින් මොකද වෙන්නෙ? විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙන්න!!






කාලය හරහා යන්න පුළුවන්ද කියන එක මේ දවස් වල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. ඒකට එක හේතුවක් තමයි මේ දවස් වල ප්‍රසිද්ධ dark කතා මාලාව. කව්රු හරි එහෙම කාලය හරහා ගිහින් අතීතයේ සිදු වුන දෙයක් වෙනස් කළොත් මොකද වෙන්නෙ? ඇත්තටම එහෙම වෙනස් කරන්න පුළුවන්ද? මේ ගැන තමයි අද අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ.

මේ විදියට කව්රු හරි කාලය හරහා ගිහින් අතීතය වෙනස් කරොත් ඒ අවස්ථා වල විරුද්ධාභාසයක් එහෙම නැත්නම් paradox එකක් ඇති වෙන්න පුළුවන්. සුප්‍රසිද්ධ paradox එකක් තමයි grandfather paradox කියන්නෙ. මේ post එකේ තියන ඡායාරූපය  මේ දවස් වල සමාජ මාධ්‍ය වල හුවමාරු වුන එකක් නිසා මේ උදාහරණය එක්ක ඉදිරියට යමු. මේකෙ විදියට කෙනෙක් අතීතෙට ගිහින් තමන්ගෙම සීයාව තරුණ කාලෙදි මරණවා. එතකොට සීයා විවාහ වෙලා නැති නිසා මරපු කෙනාගෙ අම්මා හෝ තාත්තා ඉපදිලා නෑ. ඒ නිසා මරපු කෙනා ඉපදෙන්න විදියකුත් නැහැ! එහෙනම් කොහොමද එයා අතීතෙට ආවෙ? මේක තමයි paradox එක. මේකට විසඳුම් සොයන් යද්දි අපිට ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාව පැත්තට පොඩ්ඩක් යොමු වෙන්න සිද්ධ වෙනවා !

මේකිදි අපි භාවිතා කරන සිද්ධාන්තයක් තමයි quantum superposition කියන එක.
ඒකෙන් කියවෙන්නෙ උප පරමාණුක අංශු (sub atomic particles) එකම වෙලාවෙ අවස්ථා (states) කිහිපයක superposition එකක් එහෙම නැත්නම් අධිස්ථාපනයක් විදියටයි පවතින්නෙ කියලා. හැබැයි අපිට එක වෙලාවකදි නිරීක්ෂණය කරන්න පුළුවන් ඒ අවස්ථා වලින් එකක් විතරයි. මේක ටිකක් තේරුම් ගන්න අපහසු නිසා ඒ කාලෙ කරපු පරීක්ෂණයක් බලමු.

ඒ කාලෙ හිටිය භෞතික විඳාඥයෙක් උන schrödinger  කියන කෙනා මේකට ප්‍රායෝගික පරීක්ෂණයක් ඉදිරිපත් කරා. ඔහු කළේ  පූසෙක්ව අරගෙන පෙට්ටියකට දාලා වහපු එක. හැබැයි මේ පෙට්ටිය ඇතුළෙ විකිරණශීලි මූලද්‍රව්‍යයක් තිබුණා. ඒ මූල ද්‍රව්‍යය ක්ෂය උනොත් ඇතුළෙ තිබුණ විෂ වායුවකට නිරාවරණය වෙලා පූසා මැරෙනවා. මූල ද්‍රව්‍යය ක්ෂය උනේ නැත්නම් විෂ වායුවට නිදහස් වෙන්න විදියක් නැති නිසා පූසා මැරෙන්නෙ නැහැ! ඒත් අපි කලින් ඉගෙන ගත්ත quantum superposition මූලධර්මයට අනුව මේ විකිරණශීලි මූල ද්‍රව්‍යය "ක්ෂය උනා" සහ "ක්ෂය උනේ නැහැ" කියන අවස්ථා දෙකේ අධිස්ථාපනයක් විදියටයි තියෙන්නෙ. ඒත් ඒ පෙට්ටිය ඇරලා බලනකල් අපි දන්නෙ නැහැ ඒක මොන අවස්ථාවෙද තියෙන්නෙ කියලා. ඇරලා බැලුවම අපි ස්ථිරවම දන්නවා ඒක ක්ෂය වෙලා පූසා මැරිලද නැද්ද කියලා. මොකද ඒ දෙකෙන් එකයි අපිට එක වෙලාවක නිරීක්ෂණය කරන්න පුළුවන්. (නිරීක්ෂණය නොකරන තාක් කල් ඒක superposition අවස්ථාවෙයි පවතින්නෙ. නමුත් නිරීක්ෂණය කරන විට කරන්න පුළුවන් පැවති superposition අවස්ථා වලින් එකක් විතරයි.) පූසා මැරෙන්නෙ විකිරණශීලි මූලද්‍රව්‍යය ක්ෂය උනොත් විතරක්ම නිසා අපි පෙට්ටිය ඇරලා බලන කල් පූසා ඉන්නෙ "ජීවතුන් අතර" සහ "මරණය" කියන අවස්ථා දෙකේ අධිස්ථාපනයක් ලෙස. මොකද මූලද්‍රව්‍යය තියෙන්නෙ ක්ෂය උනා සහ නැහැ කියන අවස්ථා දෙකේ අධිස්ථාපනයක් නිසා!!! 

නමුත් අපි හොඳටම දන්නවා ප්‍රායෝගික ජීවිතයේ අපි දකින දේවල් මෙහෙම නොවෙන බව. ඔව් ! ඒක ඇත්ත. මේක හරි යන්නෙ උප පරමාණුක අංශු වගේ ඉතා කුඩා දේවල් වලට විතරයි. අපේ ඇසට පේන තරම් ලොකු වස්තු වලට මේක පැහැදිලි කරන්න තමයි "බහු විශ්වීය සංකල්පය" (Many Worlds Theory) අපි යොදා ගන්නෙ. ඒක පැහැදිලි කරන්නෙ මෙහෙමයි. මේ සංකල්පයට අනුව පෙට්ටිය වහලා තියන තාක් පූසා ඉන්නෙ "ජීවත් වෙලා" සහ "මිය ගිහින්" කියන අවස්ථා දෙකේ superposition එකක් විදියට. අපි පෙට්ටිය විවෘත කරනවත් එක්කම අපේ ලෝකය, අර superposition අවස්ථාව නිර්මාණය වෙලා තිබුණ හැම අවස්ථාවකටම අදාලවම සමාන්තර ලෝකයන් බවට වෙන් වෙනවා !! ඔව් !! ඒ කියන්නෙ අපි පෙට්ටිය ඇරලා බලද්දි පූසා හිටියෙ මැරිලා නම් තවත් සමාන්තර ලෝකෙක ඒ පූසා "පණ පිටින්" කියන අවස්ථාවේ ඉන්නවා!! ඔව්! ඒ කියන්නෙ අපිට තවත් ලෝකයක් තියෙන්න පුළුවන් දෙවෙනි ලෝක යුද්ධය හිට්ලර් විසින් ජය ගනිපු ! තවත් ලෝකයක් තියෙන්න පුළුවන් අපි කවදාවත් සඳ තරණය නොකරපු!! පුදුමයි නේද?

දැන් අපේ ප්‍රශ්නයට නැවතත් ආවොතින් අර කෙනා තමන්ගෙම සීයා මැරුවොත් තවත් සමාන්තර ලෝකයක් පවතිනවා එයාගෙ සීයා ජීවත්ව සිටින. ඒ නිසා එයා ඒ ලෝකයට නොදැනුවත්වම මාරු වෙනවා. ඒ කියන්නෙ එතන paradox එකකුත් නෑ!! මේ විදියට තමයි ක්වන්ටම් භෞතික විද්‍යාව time travel paradoxes විසඳන්නෙ. ටිකක් තේරුම් ගන්න අපහසුයි තමයි. ක්වන්ටම් විද්‍යාව ලෝකෙ ඉගෙන ගන්න අමාරුම විෂයන් වලින් එකක් කියන්නෙත් මේ හේතුව නිසයි. සමාන්තර ලෝක ගැන තව විස්තර ඉදිරි ලිපියකින් කතා කරමු.

© Kavindu Sellahewa
B.Sc (special) in Physics

Comments

Popular Posts