ලොව මවිත කළ SpaceX


අන්ධකාරයෙන් පිරුණු රැයකදී තමයි තාරකාවකට වුණත් දීප්තිමත්ව බැබළීමට හැකිවන්නේ. කොවිඩ් 19 එහෙමත් නැත්නම් නව කොරෝනා වෛරසය නිසා මුළු ලෝකයම අද වන විට ගත කරන්නේ අඳුරු යුගයක. මිනිසා කියන්නේ කිසිවිටෙකත් පසුබසින්නට සූදානම් අයකු නොවන බව පසක් කරමින් පසුගිය මැයි මස 30 වනදා වාර්තා වුණේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා අජටාකාශගාමීන් දෙදෙනකු රැගත් යානයක් අභ්‍යවකාශ ගත කෙරුණ බවට පුවතක්. 
ඒ පුවත වාර්තා වුණේ මේ වන විට අර්බුද ගණනාවකටම මුහුණපාමින් සිටින ඇමෙරිකාවෙන් වීමද පුදුමය දනවන කරුණක්. මෙය ඉතිහාසයට එක්වූයේ පෞද්ගලික සමාගමක මූලිකත්වයෙන් මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානාවක් ගුවන් ගත කෙරුණු පළමු අවස්ථාව ලෙසිනුයි.
ලෝකයම මවිත කළ මේ පුවත මැවූයේ අමෙරිකා එක්සත් ජනපදයේ SpaceX නම් වූ පෞද්ගලික සමාගමයි. පසුගිය මැයි මස 30 වන දින අමෙරිකානු නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 3.22ට ඒ කියන්නේ ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 7.22 ට පමණ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශගාමීන් රැගත් Crew Dragon නම් වූ කැප්සියුලය සමඟ Falcon-9 රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරුණි.
පැය 19 ක ගමනකින් අනතුරුව මැයි මස 31 වනදා ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 2.16 ට කැප්සියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වූ බව වාර්තා වූ අතර එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදු විය. එසේ වුවත් හදිසි අවස්ථාවක් ඇති වූවානම් එවිට ගගනගාමීන්ගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කළ හැකි විකල්ප සැලැස්මක්ද කැප්සියුලයේ අන්තර්ගත කර තිබූ බව වාර්තා වේ. 
කැප්සියුලය එහි ළඟා වන විටදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය උතුරු චීන සහ මොංගෝලියානු දේශසීමා අතර පෘථිවියේ සිට කිලෝමීටර 422 ක් පමණ දුරින් ස්ථානගතවී තිබිණි. Crew dragon කැප්සියුලයට එහි අජටාකාශගාමීන් දෙදෙනා විසින් ලබා දුන් නම වන්නේ Endeavour යන්නයි. විශිෂ්ටතම ප්‍රයත්නය යන්න එයින් අදහස් කෙරේ. මෙම පළමු පර්යේෂණාත්මක චාරිකාවට මෙලෙසින් එක් වූයේ නාසා ආයතනයේ අජටාකාශගාමීන් දෙදෙනෙකි. ඒ රොබර්ට් බැන්කන් සහ ඩග්ලස් හර්ලිය. 
Crew dragon කැප්සියුලය පසුගිය 30 වනදා අභ්‍යවකාශ ගත කෙරුණත් එය මේ අපූර්ව වූ ගමනේ යෙදීමට සූදානම්ව සිටියේ මැයි මස 27 වන දිනයි. එදින පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඉදිරියට තැබූ එක් පියවරක් මඳක් පසුපසට ගැනීමට SpaceX  ආයතනයටත් නාසා ආයතනයටත් සිදු විය. 
2011 වසරේදී අභ්‍යවකාශ ෂටල ව්‍යාපෘතිය අතරමඟ නතර වීමෙන් පසු එනම් වසර නවයකට පසු අමෙරිකානු භූමියෙන් උඩුගුවනට ගඟනගාමීන් යැවූ ප්‍රථම අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසයට එක් විය.
රොබර්ට් සහ හර්ලි අභ්‍යවකාශයේ දින කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව නැවතත් පෘථිවිය කරා පැමිණීමට නියමිත වන්නේද එම කැප්සියුලය උපයෝගී කර ගනිමින්මය. එහිදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මුදා හැරෙන එම කැප්සියුලය ස්වයංක්‍රීයව පෘථිවිය කරා පැමිණීමට නියමිතය. පෘථිවි වායුගෝලය හරහා පැමිණීමේදී එහි වේගය අවම කරවීමට පැරෂුට උපයෝගී කරගැනීමට තීරණය කර ඇති අතර එය අත්ලන්තික් සාගරයේ වෙරළකට ගොඩබැස්සවීමට බලාපොරොත්තු වේ.
හුදෙක්ම අභ්‍යවකාශ තරණයේ අරමුණ වූයේ විශ්වයේ රහස් හෙළි කර ගැනීමම පමණක් නොවේ. ලෝකයේ රටවල් අතර පවතින විශේෂයෙන්ම අමෙරිකාවත් රුසියාවත් අතර පවතින බල තරඟය නිසා තමයි මෙතෙක් බොහෝමයක් අභ්‍යවකාශ ව්‍යාපෘති දියත් කෙරුණේ. එසේ වුවත් අභ්‍යවකාශ තරණය කියන්නේ අධික මුදල් ප්‍රමාණයක් වැය කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘතියක්. අභ්‍යවකාශ තරණය සඳහා යොදා ගැනෙන යානා නැවත වරක් භාවිත කළ නොහැකි වීම එසේ බැලූ කල සුවිසල් අවාසියක්. 
මෙයට පිළියමක් සෙවීමට තමයි Crew dragon යානාවත් Falcon-9 රොකට්ටුවත් පසුගියදා අභ්‍යවකාශ ගත කෙරුණේ. ඒ අනුව Demo-2 ලෙස නම් කර ඇති මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ අභ්‍යවකාශ යානා නැවත නැවත අභ්‍යවකාශ චාරිකා සඳහා යොදා ගත හැකිද යන්න තහවුරු කර ගැනීමයි.
මෙමඟින් පෘථිවි කක්ෂය වාණිජකරණය වීමක් සිදු වන අතර අභ්‍යවකාශ මෙහෙයුම් අනාගතයේදී පෞද්ගලික අංශ අතට පත් වීමේ ප්‍රවණතාවයද වැඩි වනු ඇත. 
SpaceX ආයතනය මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටින්නේ ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ අභ්‍යවකාශ සංචාරක කර්මාන්තයක් ඇති කිරීම බවයි.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් මුදල් අතැති නම් නුදුරු අනාගතයේදී අපටත් අභ්‍යවකාශයට චාරිකාවක් ගොස් නැවත පැමිණීමට අවස්ථාවක් උදා වන බව නම් නො අනුමානය.

ජනේශ්වරී හේවාපන්න



Comments

Popular Posts