පෘථිවියට ජීවය පැමිණියේ පිටසක්වලින් ද?


ජීවය ආරම්භ වූ මොහොතේ පටන් ජීව සෛල මෙන්ම ජීව දේහ විකසනය, වර්ධනය, අනුවර්තනය, පරිණාමය වර්තමානය වන විට කොතරම් සංකීර්ණ තත්වයකට පැමිණ තිබුනද ඉන් නොනැවතී අඛණ්ඩව  ඉදිරියටත් සිදු වෙමින් පවතී.  සත්‍ය වශයෙන්ම තනි සෛලයක සිට වත්මන්  තත්ත්වයට ජීව දේහ විකසනය වීම සිදු වීමට වසර බිලියන  ගණනාවක් ගතවී ඇති බව නොරහසකි. නමුත් මේ සියල්ලේම මූලාරම්භය වන ජීවයේ තැනුම් ඒකකයන් පෘථිවිය මත නිර්මාණය වූයේ කෙසේද යන්න තවමත් විද්‍යාවේ නොවිසඳුනු අභිරහස් වලින් එකකි. අප පෘථිවිය තුල මෙතරම් සංකීර්ණ ජීවයක් බිහිවීමට හේතුව වූ ජීවයේ තැනුම් ඒකකයන් හි සම්භවය තේරුම් ගැනීමට විද්‍යාඥයන්ට මෙතෙක් හැකි වී නැත. බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට පෘථිවියට ජීවය පැමිණ තිබෙන්නේ පිටත අභ්‍යාවකාශයේ සිටයි. ග්‍රහතාරකා විද්‍යාඥයන් ඉදිරිපත් කරන මෙම මතය හැඳින්වෙන්නේ Panspermia Theory යනුවෙනි. එම න්‍යාය මගින් ග්‍රහලෝකයකින් ග්‍රහලෝකයකට, සෞරග්‍රහ මණ්ඩලයකින් සෞරග්‍රහ මණ්ඩලයකට ජීවී ඓන්ද්‍රිකයන් හුවමාරු වන ආකාරය පැහැදිලි කරනු ලබයි. Panspermia න්‍යායේ විවිධ ප්‍රභේද පවතියි. පිටසක්වල ජීවීන් හිතාමතාම අප පෘථිවිය මත ජීවය නිර්මාණ කලා ය යන්න එක් උදාහරණයකි. නමුත් ඒ අතරින් වඩාත්ම සාධනීය මතය වන්නේ ග්‍රහ තාරකා අතර ජීවය හුවමාරු වන බවට වූ මතයයි. 


දැනට තිබෙන සාක්ෂි අනුව පෘථිවිය මත ජීවය බිහි වීම ආරම්භ වී තිබෙන්නේ මීට වසර බිලියන 3.83කට පමණ පෙර යි. එම කාලය වන විටත් පෘථිවිය මත ඉතා සරල ජීවයක් නිර්මාණය වී තිබූ බව විද්‍යාඥයන් විශ්වාස කරති. නමුත් එම කාලය වන විට පෘථිවිය මතට විශාල උල්කාපාත වර්ෂාවන් කඩා වැටී ඇති බවට සාක්ෂි දරයි. එහෙයින් මෙම කාලය තුල පෘථිවිය මත ජීවයක් විකසනය වෙමින් පැවතියා නම් සිදුවූ එම උල්කාපාත ඝට්ටනයන් නිසා ජීවය අනිවාර්යයෙන් ම වඳවී යා යුතුයි. ඩයිනෝසරයන්ට අත්වූ ඉරණම හා බලන කල එය පැහැදිලි කරුණකි. නමුත් පරිණාමය යනු ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියකි. උදාහරණයක් ලෙස තනි සෛලයක් බහුසෛලීය ජීවියෙකු බවට පත් වීමට වසර බිලියන ගණනක් ගත වේ. එම නිසා උල්කාපාත ඝට්ටනයන් නිමා වූ විගසම DNA මූලික වූ ජීවයක් පෘථිවිය මත හට ගැනීමට අවකාශයක් නොමැත. එසේ සිදු වීමට නම් පෘථිවියට ජීවය වෙනත් ස්ථානයකින් පැමිණිය යුතුය. එලෙස පැමිණිය හැකි එකම ස්ථානය වන්නේ අභ්‍යාවකාශයයි. එහෙයින් වසර බිලියන 3.8ක් තරම් පැරණි එම පොසිලය Panspermia න්‍යාය සනාථ කරන එක් සාක්ෂියක් ලෙස හැඳින්විය හැක. 


අප සෞරග්‍රහ මණ්ඩලය තුල ජීවය පැතිරවීම සඳහා හැකියාවක් ඇති ග්‍රහලෝකයක් ලෙස අඟහරු ග්‍රහයා හැඳින්විය හැක. එය Ballistic Panspermia යනුවෙන් හඳුන්වයි. අඟහරු ග්‍රහයා ජලයෙන් පිරුණු ජීවයක් දැරීමට හැකියාවක් තිබූ ග්‍රහලොවක් බව අද වන විට නොරහසකි. අඟහරු මතින් මෑතකදී විශාල මිරිදිය ගංගාවක සාක්ෂි හමු වූ නිසා පෘථිවියට පෙර අඟහරු මත ජීවයක් විකසනය වී තිබෙන්නට හැකියාවක් ඇත. එම නිසා පෘථිවිය මතට ජීවයක් පැමිණියේ අඟහරු ග්‍රහයාගෙන් බව සිතීමට හැකියාවක් ඇත. අභ්‍යාවකාශ තුල සැරිසරන ග්‍රාහකයක් මත සරල ජීවයකට නොනැසී සංචාරය කිරීමට හැකියාවක් ඇත. එසේම පාරජම්බුල විකිරණ යටතේ නොනැසී සිටීමද හැකියාව ඇත.  එම නිසා අඟහරු ග්‍රාහකයක් මගින් පෘථිවියට ජීවය සංක්‍රමණය වූ බව විද්‍යාඥයන් විශ්වාස කරති. 


වර්ෂ 1984 දී ඇන්ටාක්ටිකාවෙන් හමුවූ ALH84001 දරණ අඟහරු උල්කාෂ්මය තුල පොසිලකරණය වූ ක්ෂුද්‍රජීවීන් සිටි බවට අනාවරණය වූ නිසා ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ Fossilize microbes ස්වරූපයෙන් අඟහරු ග්‍රහයාගේ සිට පෘථිවියට ජීවය රැගෙන එන්නට ඇති බවයි. NASA විද්‍යාඥයන් පවසන ආකාරයට අවුරුදු බිලියන ගණනකට පෙර අඟහරු උල්කාපාතයන් පෘථිවිය සමග ඝට්ටනය වී තිබෙනවා. එම කාලය තුල අඟහරු මත ජීවයක් විකසනය වී පැවතියා නම් එම ජීවයට පෘථිවියට පැමිණීමට විශාල සම්භාවිතාවක් පවතී.

වර්ෂ 1969 දී පෘථිවිය මත ඝට්ටනය වූ උල්කාෂ්මයක තිබී ජානමය ද්‍රව්‍යයන් වල කුඩාම ඒකක හමු වී තිබෙනවා. Sugar සහ Amino acids වැනි එම කාබන් මූලික වූ සංඝටකයන් පෂාණය මතම හටගන්නට ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මෙම සොයාගැනීම් මගින් එක් කරුණක් මනාව පැහැදිලි වේ. එනම් වසර බිලියන 4කට පමණ පෙර සිදු වූ උල්කාපාත ඝට්ටනයන් මගින් ජීවයේ කුඩාම තැනුම් ඒකකයන් පෘථිවියට රැගෙන එන්නට ඇති බවයි.

වල්ගා තරුවක් වට කරගෙන පවතින දූවිලි සහිත වායු වලාවන් මගින් ලබා ගන්නා සාම්පල නැතහොත් star dust තුල සංකීර්ණ කාබනික අණු, පොස්පරස් හා Amino acids හමුවී තිබෙනවා. Amino acids යනු ප්‍රෝටීන නිර්මාණය වීම සඳහා අත්‍යාවශ්‍ය සංඝටකයකි. ප්‍රෝටීන ජීවයට කෙතරම් වැදගත් දෙයක්ද යන්න අමුතුවෙන් සඳහන් කල යුතු නැහැ. එම නිසා එය Panspermia න්‍යායට ඉතා විශාල සහයෝගයක් ලබා දෙන බව පැහැදිලියි. අභ්‍යාවකාශයේ පවතින star dust හි ජීවයක් නිර්මාණය වීම සඳහා අත්‍යාවශ්‍ය ඒකක පවතින හෙයින් එම අණු සාගරය මත පතිත වුවහොත් එම අණු නිදහසේ හැසිරෙමින් ප්‍රතික්‍රියා කරමින් ජීවයක් හට ගැනීමට හැකියාව ඇත. 

ඇතැමුන්ට විශ්වාස කිරීමට අපහසු වුවද NASA , MIT සහ හාවඩ් විශ්වවිද්‍යලයේ විද්‍යාඥයන් අතර මෙම මතය ඉතා ඉහළින් පිළිගැනීමකට ලක්වී ඇත. ලෝ සුපතල කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් මහතාද මෙම මතය පිළිගත් අයෙක්. එතුමා පවසන ආකාරයට පෘථිවි ජීවය මිහිමත ආරම්භ වූවක් නොවන බවත් Ballistic Panspermia ක්‍රියාවලිය මගින් ජීවය පෘථිවියට සංක්‍රමණය වූ බවත් පවසා සිටිනවා. මිනිසා වැනි සංකීර්ණ ජීවයක් වසර බිලියන 4ක් ඇතුලත ඇතිවීමට කිසිඳු ඉඩක් නොමැති බවත් ඒ සඳහා අවම වශයෙන් වසර බිලියන 7ක් වත් ගත වන බවත් එතුමා වැඩි දුරටත් පවසා තිබෙනවා. 

මේ අනුව පෘථිවි ජීවීන් වන අපගේ මූලාරම්භය වෙනත් ග්‍රහලොවක සිදු වූවක් වන්නට පුළුවන. ඒ අනුව බලන කල ඔබේත් මගේත් මුතුන් මිත්තන් පිටසක්වල ජීවීන් වන්නට පුලුවන්. මේ අනුව තවත් වැඩි කාලයක් යන්නට මත්තෙන් පෘථිවියට ජීවය පැමිණියේ අභ්‍යාවකාශයෙන් යන මතය වැඩිදුරටත් තහවුරු වනවා නිසැකයි.


©රන්සි අනුත්තරා

Graphics by Deshan Rathnayake 


විශ්වයේ රහස් යහළුවන් සමඟ බෙදා ගන්න share කරන්න.


J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Education


Comments

Popular Posts