New Moon(අමාවක සඳ හෙවත් නව සඳ)

චන්ද්‍රයා අපට අභ්‍යාවකාශයේ දැක ගත හැකි දර්ශනීය වස්තුවකි. චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වන්නේ කි.මී.384400 පමණ සාමාන්‍ය දුරකිනි. එම නිසා චන්ද්‍රයාට ඊට ගත වන්නේ දින 27.3 වැනි කාලයකි.චන්ද්‍රයා සිය අක්ෂය මත කරන භ්‍රමණයත් පෘථිවිය වටා කරන පරිභ්‍රමණයත් එක සමාන වේගයකින් සිදු වන නිසා සැමවිටම පෘථිවියට මුහුණ පාන්නේ චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණි.මෙවැනි අවස්ථාවක් Tidally locked අවස්ථාවක්  ලෙස හඳුන්වයි. නමුත් චන්ද්‍රයා ගමන් කරන කක්ෂය හා එහි ඇලය නිසා විවිධ වූ කෝණයන්ගෙන් ඒ ඒ මාස වලට අදාලව අපට චන්ද්‍රයාව දැක ගත හැකිය. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණයේදී සූර්යාලෝකය එය මත පතිත වන ආකාරය අනුව විවිධ හැඩ වලින් දැක ගත හැකිය. මෙම සංසිද්ධිය අප චන්ද්‍ර කලාවන් (Moon phases) ලෙස හඳුන්වයි. චන්ද්‍ර කලාවන් ප්‍රධාන වශයෙන් ආකාර 4 කට සිදු වේ.
● නව සඳ හෙවත් අමාවක සඳ - New moon
● පුර අටවක - First quarter
● පුර සඳ       - Full Moon
● අව අටවක - Last quarter 
මෙය චක්‍රයක් ලෙස සෑම අවුරුද්දකම සෑම මාසයක් පාසාම සිදු වෙයි. මෙම චන්ද්‍ර කලා චක්‍රයක් සම්පූර්ණ වන කාලය චන්ද්‍ර මාසයක් ලෙස හැඳින්වෙයි. අප මේ කතා කරන අමාවක සඳ චන්ද්‍ර කලාවන්ගෙන් පළමු වැන්නයි. සූර්යයා හා පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ අඳුරු ඡායාව පෘථිවිය දෙසට යොමු වීම නිසා අමාවක සඳ ඇති වේ. මෙම අවස්ථාව සූර්යයා නැගී ඒම හා බැසී යාම කාලය අතරතුරම සිදු වේ.මෙම කාරණා නිසා මෙම අවස්ථාවේදී අපට පියවි ඇසෙන් චන්ද්‍රයාව දැක ගැනීමට අපහසු වේ. එක් නව සඳක ආරම්භයේ සිට අනෙක් නව සඳ දැක ගැනීමට දින 29.272 සහ දින 29.833 ක් අතර කාලයක් ගත වේ.
මෙම නව සඳ මුහුදේ වඩදිය බාදිය සඳහාත් බලපායි. නව සඳ අවස්ථාවේදී චන්ද්‍රයාගේත් සූර්යයාගේත් දෙදෙනාගේම ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා වඩදිය උපරිම අවස්ථාවටත් බාදිය අවම අවස්ථාටත් එළඹේ. (මෙය පුර සඳ අවස්ථාවේදීත් දැක ගත හැකි සංසිද්ධියකි.)
නව සඳ හා බැඳුණු විවිධ සංස්කෘතික අංගයන්ද බොහොමයක් ඇත.  හින්දූන්, ඉස්ලාම්වරුන් හා චීන ජාතිකයන්ට අනුව නව සඳ උදාවත් සමඟම ඔවුන්ගේ නව මාසයක ආරම්භය සිදු වන අතර හින්දු භක්තිකයෝ මෙදින තම වැඩ කටයුතු සඳහා නව ආරම්භයක් ලබා ගැනීමටත් පෙළඹෙති. එමෙන්ම චීන බෞද්ධයින් එදිනට නිර්මාංශව සිටීමද චාරිත්‍රයක් වශයෙන් සිදු කරයි.
අපට මෙම මස එනම් 2020 මැයි මස 22  වන දින රාත්‍රී බටහිර අහසේ 11.08 ට අමාවක සඳ නිරීක්ෂණය කළ හැකිය.
 
Written by Pasan Rathnayaka
Graphics by Niru ruwanya




Comments

Popular Posts