අවිනිශ්චිත අගහරු ජීවය




රතු ග්‍රහලෝකයේ දූවිලි වල අඩංගු රසායනික ද්‍රව්‍ය බැක්ටීරියා වලට අධික ලෙස විෂ සහිත බව පර්යේෂකයන් විසින් මේ වන විටත් අනාවරණය කරගෙන තිබෙයි .

අපගේ ළඟම ග්‍රහලෝක අසල්වැසියා වන අඟහරුගේ පෘෂ්ඨය මත සාර්ථක ජීවිතයක් ගෙන යාම භයානක අපේක්ෂාවක් බව අපි දන්නා කරුණකි . ඒ රතු ග්‍රහලෝකයේ සීතල වටපිටාව නිසා පමණක්ම නොව, පාරජම්බුල කිරණවලට නිරන්තරයෙන් නිරාවරණය වීමත් ඔක්සිජන් රහිත වීමත් යන කරුණුත් ඒ අතරට ඇතුළත් ය. එමෙන්ම මෙයට ප්‍රධානතම හේතුව ලෙස විෂ සහිත රසායනික ද්‍රව්‍යයන් අඟහරු පෘෂ්ඨයේ අන්තර්ගත වී තිබේ යන අදහසත් මේවන විට කතාබහට ලක්වෙයි . 

අඟහරු ග්‍රහයාගේ මතුපිට තත්වයන්, විශේෂයෙන් ක්ලෝරීන් හී එක්තරා රසායනික ප්‍රභේදයන් වන පර්ක්ලෝරේට් හා ඒ ආශ්‍රිත සංයෝග පැවතීම නිසා මෙම විෂ සහිත පරිසරය ඇතිව තිබෙන බව ඔවුන් පවසයි. පර්ක්ලෝරේට් හි පවතින විෂ සහිත බව නිසා අගහරු ග්‍රහයාගෙ මතුපිට ක්ෂුද්‍ර ජීවීන්ගෙ පැවැත්වමට අවස්ථාවක් ලබා දී නොමැති බව ඔවුන් පෙන්වා දෙයි. ඔවුන් සිදුකරන ලද මෙම අධ්‍යයනයේ ප්‍රථිපල Scientific Reports වෙබ් අඩවියෙ පළකර තිබෙයි.


" ඕනෑම ජීවයකට කිසියම් පරිසරයක අදහාගත නොහැකි තරමේ කර්කෂ එමෙන්ම ජීවය තවදුරටත් ගෙනයාමට අපහසු මට්ටමෙ කාලයක් උදාවෙන්න පුලුවන්. මේ තත්වය දැන් පර්යේෂණාත්මකව සනාථ වෙලා තිබෙනවා " වොෂිංටන් ජනපද සරසවියේ තාරකා ජීව විද්‍යා පර්යේෂක   Dirk Schulze-Makuch, මෙලෙස පර්යේෂණය සම්බන්ධ ව සිය අදහස් පලකරා සිටියි.


එඩින්බර්ග් සරසවියෙ පර්යේෂිකා Jennifer  Wadsworth සහ ඇගේ උපදේශක තාරකා ජීව විද්‍යා පර්යේෂක Charles Cockell විසින් මෙම පර්යේෂණය මෙහෙයවනු ලැබීය. ඔවුන් විසින් අභ්‍යවකාශ යානාවන් හි ඇතැම් පෘෂ්ඨ අපවිත්‍ර කරන Bacillus subtilis බැක්ටීරියාව, විද්‍යාගාරයක් තුලදී අඟහරු ග්‍රහයගෙ පෘෂ්ඨයේ මත ඇති තත්වයන්ට යටත් කර තිබෙයි. එහිදී ඔවුන් මෙම බැක්ටීරියා සාම්පලය පර්ක්ලෝරේට් වලට නිරාවරණය කරනු ලැබුවා. තත්පර 30 ක් වැනි කාලයක් ඇතුළත ඔවුන් සියල්ලන්ම මිය ගිය බව එහිදී ඔවුන්ට පෙනී ගොස් තිබෙයි. මේ ආකාරයටම පාරජම්බුල කිරණවලට නිරාවරණය වූ බැක්ටීරියා තත්පර 60 ක් වැනි කාලයක් තුළ මියගිය බවත් පාෂාණ අනුකරණය කරමින් ආදේශක ලෙස සිලිකා තැටි අන්තර්ගත කර අවස්ථාවෙ එය බැක්ටීරියාවන්ගෙ පැවැත්වීමට මදක් වාසිදායක වූ බවත් ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා.


මින් පෙනීගියේ අගහරු ග්‍රහයා මත දියර ජලය පැවති බවට සැලකෙන අවධියේ පවා එහි ජීවයක් පැවතියත් එය ඉතාමත් අපහසු එමෙන්ම දුෂ්කර ආකාරයේ එකක් වී ඇති බවයි. මෙහිදී පර්ක්ලෝරේට් මෙන්ම එහි අනෙකුත් ප්‍රභේදයන්ද සියලුම ක්ෂුද්‍ර ජීවීන්ට බෙහෙවින් විෂ සහිතවූ බව ඔවුන් පවසා සිටියි. “පාරජම්බුල කිරණ හා පර්ක්ලෝරෙට් වල බලපෑම අගහරු පෘෂ්ඨයේ ස්ථර තුලින් විනිවිද යන්නෙ කෙසේදැයි යන්නට නිශ්චිත යාන්ත්‍රණයක් අප තවමත් දන්නෙ නෑ " Wadsworth පර්යේෂණය අවසානයේ Daily mail වෙත පවසා ඇත. "ඇත්තටම මෙය අගහරු පෘෂ්ඨයේ විසිර පවතින පර්ක්ලෝරේට් සහ එහි ප්‍රභේදවල ( ක්ලෝරයිට් හා හයිපොක්ලෝරයිට් ) බලපෑම නම් අගහරු මත ජනාවාස කල නොහැකි ප්‍රදේශ ප්‍රමාණය අප සිතනවාටත් වඩා පුලුල් වෙන්න පුලුවන් ය. සාර්ථක ජීවයක අපේක්ෂා දල්වාගැනීමට නම් වාසස්ථාන ලෙස රතුලොව මත වෙනත් ප්‍රදේශ සෙවීමේ පර්යේෂණ තවදුරටත් පුලුල් කල යුතුයි." පර්යේෂිකාව වැඩිදුරටත් පවසා සිටියා.

පවන් සිල්වා

විශ්වයේ අභිරහස් ගැන  පිපාසයෙන් සිටින ඔබේ මිතුරන් අතර අපේ ලිපි share කරන්න.



Comments

Popular Posts