සූර්‍යයාගේ කොරෝනා


" කොරෝනා"  මේ වන විට ඔබ අප සියල්ලන්ටම හුරුපුරුදු වචනයක් වී හමාරයි. මේ ලිපිය කොරෝනා ගැන නමුත් මේ ගෝලිය වසංගතයක් වී ඇති කොරෝනා වයිරසය ගැන නම් නොවේ.. මේ ලිපිය සූර්යයාගේ කොරෝනා පිලිබඳවයි..


අපේ සූර්යයා වායුගෝලය නමින් හැඳින්වෙන වායු ජැකට්ටුවකින් වට වී ඇත. කොරෝනා යනු සූර්යයාගේ වායුගෝලයේ පිටත කොටසයි.


කොරෝනා සාමාන්‍යයෙන් සූර්යයාගේ පෘෂ්ඨයේ දීප්තිමත්  ආලෝකය මගින් සැගවී ඇත. විශේෂ උපකරණ භාවිතා නොකර මෙය නිරීක්ෂණය කිරීම අපහසු වන නමුත් පූර්ණ සූර්යග්‍රහණයකදී කොරෝනය නිරීක්ෂණය පහසුවෙන් සිදුකළ හැකිය. පූර්ණ සූර්යග්‍රහණයක් අතරතුර චන්ද්‍රයා පෘථිවිය හා සූර්යයා අතරින්  ගමන් කිරීම සිදු වේ.මෙහිදී  සඳ මගින් සූර්යයාගේ දීප්තිමත් ආලෝකය අවහිර කරනු ලබන නිසා දිලිසෙන සුදු කොරෝනය සූර්යග්‍රහණය අවස්ථාවේදී සූර්යයා වටා දැකිය හැකිය.


කොරෝනය අතිශයින් ඉහළ උෂ්ණත්වයක පවතින නමුත් එය ඉතා අඳුරු ය. මීට හේතුව සූර්යයාගේ මතුපිට ඝනත්වයට වඩා කෝරෝනයෙහි ඝනත්වය මිලියන 10 ගුණයකින් පමණ අඩු වීමයි. මෙම අඩු  ඝනත්වය නිසා කොරෝනය සූර්යයාගේ මතුපිටට සාපේක්ශව දීප්තිමත් බවින් ඉතා අඩු වේ.


කොරෝනාහි අධික උෂ්ණත්වයට හේතුව නම් තවමත් මතභේදාත්මක වේ. ඔබ ගිනිගොඩක් අසල වාඩි වී සිටින අවස්ථාවකදි ඔබට ඉතා උණුසුම් බවක් දැනේ. නමුත් ඔබ ගින්නෙන් ඉවත් වූ විට ඔබට සිසිල් බවක් දැනේ. නමුත් සූර්යයා මත සිදුවනුයේ මීට  ප්‍රතිවිරුද්ධ දෙයකි.   එනම්  කොරෝනා සූර්යයාගේ වායුගෝලයේ පිටත තට්ටුවේ පිහිටා ඇති නමුත් කොරෝනය සූර්යයාගේ මතුපිටට වඩා සිය ගුණයක් උණුසුම් වේ. තාරකා විද්‍යාඥයන්  මෙම අභිරහස විසඳීමට දීර්ඝ කාලයක් තිස්සේ උත්සාහ කරමින් සිටී.


එක් මතයක් වනුයේ කොරෝනයේ අධික උෂ්ණත්වයෙහි මූලාරම්භය විද්‍යුත් චුම්භක තරංග බවයි. එනම් සූර්යයාගේ boiling motion හේතුවෙන් ඇති වන නිශ්චිත සංඛ්‍යාතයකට අදාල  Alfvén waves , සූර්යයාගේ ඇතුළත සිට කොරෝනයට ඇතුල් වී එමඟින් ආරෝපිත අංශු භ්‍රමණය කරමින්  වායුගෝලය උණුසුම් කිරීම සිදු කරන බවයි. තවත් එක් මතයක් වනුයේ  සූර්යයාගේ සිට කොරෝනය දක්වා ගමන් කරන "තාප බෝම්බ" (heat bomb) නම් ඉතා උණුසුම් ද්‍රව පැකට් මේ සදහා හේතු වන බවත් කොරෝනයේ දී, මෙම තාප බෝම්බ පුපුරා ගොස් ඒවායේ ශක්තිය තාපය ලෙස මුදා හරින බවත්ය.  2018 අගෝස්තු වලදී දියත් කරන ලද නාසා හි  Parker Solar Probe කොරෝනය හරහා පියාසර කරනු ඇත, එහි හැසිරීම පිළිබඳ ඉඟි සොයමින්   විද්‍යාඥයන්ට මෙම අභිරහස විසඳීමට අවස්ථාව නුදුරේදී ලැබෙනු ඇත.


සූර්යයාගේ පෘෂ්ඨය චුම්බක ක්ෂේත්‍ර වලින් ආවරණය වී ඇත.සූර්යයාගේ මෙම චුම්බක ක්ෂේත්‍රයන් කොරෝනයේ ආරෝපිත අංශුවලට බලපෑම් ඇති කරමින් අලංකාරවත්  streamers, loops, and plumes වැනි ලක්ශන ඇති කරවයි. ඒවා අස්ථිර ලක්ෂණ වන අතර තත්පර සිට දින දක්වා කාල පරාසයන් තුළ නිර්මාණය වී විසුරුවා හරිනු ලැබේ. විශේෂ දුරේක්ෂවලින් අපට මෙම අංග විස්තරාත්මකව නැරඹිය හැකිය.


කොරෝනා අභ්‍යාවකාශයට බොහෝ දුරට විහිදේ.කොරෝනාහි ඉහල  උෂ්ණත්වය නිසා එහි අංශු ඉතා අධික වේගයකින් ගමන් කරයි. මෙම වේගය කොතරම් ඉහළද යත් අංශුවලට සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයෙන් ගැලවිය හැකිය. මේ නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන සූර්ය සුළඟ (solar wind) නිර්මාණය වේ.


Parker Solar Probe එනම් පාකර් සූර්ය ගවේෂණය මගින්  සූර්යයාගේ කොරෝනා පිලිබද ඇති විවිධකාර ගැටලුවලට පිලිතුරු ලැබෙනු ඇත. එසේම  එය මානව කුතුහලය සෞරග්‍රහ මණ්ඩලයේ පෙර නොවූ විරූ ප්‍රදේශයකට ගෙන යනු ඇත.


තිලිණි වැලිකුඹුර


Comments

Popular Posts